> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සෙනාරෝ සමාගම ශ්‍රී ලංකාවේ විශාලම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත කරයි
- URL: https://www.citizen.lk/senaro-opens-sri-lankas-largest-motorcycle-showroom-in-gampaha/
- Published: 2026-11-18T12:42:52.000Z
- Updated: 2026-11-18T12:45:44.000Z
- Author: Dhanu Kulathunga
- Tags: ව්‍යාපාරික

November 18 (Citizen News) - ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර් සමාගම සිය නවතම සෙනාරෝ සිග්නේචර් ප්‍රදර්ශනාගාරය 2026 නොවැම්බර් 12 ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කළේය. ශ්‍රී ලංකාවේ විශාලම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය වන මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ගම්පහ නගරාධිපති එරික් ලක්ෂ්මන් එදිරිවික්‍රම, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල් තරංග ඇතුළු සම්භාවනීය අමුත්තෝ සහ ක්ෂේත්‍රයේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ. යතුරුපැදි ක්ෂේත්‍රයේ වසර 23කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන සෙනාරෝ මෝටර් සමාගම 100%ක් ශ්‍රී ලාංකික හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන දේශීය ව්‍යාපාරයකි. මෙරට යතුරුපැදි නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ දේශීය කර්මාන්ත සංවර්ධනයට දායක වීම සමාගමේ ප්‍රධාන අරමුණු අතර වේ. සෙනාරෝ යතුරුපැදිවල 35%ක දේශීය අගය එකතු කිරීමක් සිදු කෙරෙන අතර එමඟින් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කිරීමට, නව ආර්ථික අවස්ථා උත්පාදනය කිරීමට සහ ජාතික ආර්ථිකයට දායක වීමට සමාගම දක්වන කැපවීම පිළිබිඹු වේ.

![](https://www.citizen.lk/content/images/2026/11/A.JPG)

***(සෙනාරෝ සමාගම විසින් ගම්පහ නගරයේදී ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය: ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ උපුල් තරංග විසින් විවෘත කරන ලද අයුරු)**

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව සෙනාරෝ සිග්නේචර් ප්‍රදර්ශනාගාරය නවීන පහසුකම්වලින් සමන්විතව පාරිභෝගිකයන්ට වඩාත් උසස් සේවා අත්දැකීමක් සැපැයීමේ අරමුණෙන් නිර්මාණය කර ඇත. මෙමඟින් සමාගමේ යතුරුපැදි මාදිලි රැසක් සහ ඒ ආශ්‍රිත සේවා වෙත පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැළැසේ. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම නිමිත්තෙන් විශේෂ සමාරම්භක උත්සවයක් පැවැති අතර ඉන් අනතුරුව ආරාධිත අමුත්තන් වෙනුවෙන් විශේෂ සුහද හමුවක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ස්වර්ණකුමාර ජයරත්න මහතා සහ ගම්පහ පොලිස් රථ වාහන අංශයේ ප්‍රධානී ජගත් ප්‍රිය මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ. මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම සෙනාරෝ මෝටර් සමාගමේ ව්‍යාපාර ව්‍යාප්තියේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. සිය මෙහෙයුම් තව දුරටත් පුළුල් කරමින් පාරිභෝගික අවශ්‍යතාවලට ගැළැපෙන යතුරුපැදි සහ සේවා වඩාත් කාර්යක්ෂමව සැපැයීමට සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත ව්‍යාපාරයක් ලෙස සෙනාරෝ සමාගම දේශීය අගය එකතු කිරීම ඉහළ නැංවීමටත්, මෙරට යතුරුපැදි කර්මාන්තයේ දිගු කාලීන සංවර්ධනයට දායක වීමටත් ප්‍රමුඛත්වය දෙයි. ආනයනික නිමි භාණ්ඩ මත පවතින යැපීම අවම කරමින් දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට සමාගම ගෙන යන වැඩපිළිවෙළ තුළ මෙම ප්‍රවේශය විශේෂ වැදගත්කමක් උසුලයි. ගම්පහදී නව සෙනාරෝ සිග්නේචර් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ නවෝත්පාදනය, පාරිභෝගික සේවා විශිෂ්ටත්වය සහ දේශීය කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් සෙනාරෝ මෝටර් සමාගම දක්වන දිගු කාලීන කැපවීම තව දුරටත් තහවුරු වේ.

![](https://www.citizen.lk/content/images/2026/11/C.JPG)

***(සෙනාරෝ සමාගම විසින් ගම්පහ නගරයේදී ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම යතුරුපැදි ප්‍රදර්ශනාගාරය)**