රවී සහ රාජිත මංගලට එරෙහි වෙයි.

0
63

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න හා රවි කරුණනායක යන අය තමන්ගේ අප්‍රසාදය පළකර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා පවසන පරිදි චීනයෙන් දුම්වැටි ගෙන්වීමට කටයුතු කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (16දා) ප්‍රකාශ කළා.

අමාත්‍ය රවී කරණනායක මහතා 14 දා ප්‍රකාශ කර සිටියේ මුදල් ඇමතිධුරය නිවැරදිව කළ නොහැකි නම් එම ධුරය දැරිය හැකි කෙනෙකුට මුදල් ඇමතිධුරය ලබාදී මංගල සමරවීර මහතා ඉවත්විය යුතු බවයි.

චීනයෙන් දුම්වැටි ගෙන්වීම පිළිබඳව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද කටයුතු කළ යුතු බවත් සෑම දෙයකටම විධායක බලතල භාවිත කරන බැවින් මෙවැනි කටයුතුවලට එරෙහිවද විධායක බලතල භාවිත කළ යුතු බවත් රාජිත සේනාරත්න මහතා පවසනවා.

චීනයෙන් දුම්වැටි ගෙන්වන්නේ කාගේ උවමනාවකටදැයි තමන් නොදන්නා බවත් එහෙත් මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.

“මම හැමදාම සිටියේ එකම ස්ථාවරයේ. සෞඛ්‍ය ඇමති විදිහට වගේම වෛද්‍යවරයෙක් වශයෙනුත් දුම්වැටිවලට විරුද්ධයි. චීනයෙන් සිගරට් ගෙන්වනවා නම් මම පැහැදිලි තීන්දුවක් ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් මම ගහනවා.

මගේ ප්‍රතිපත්තිය ඕන. මට ලොකු තීන්දු ඕන නෑ. මම තීන්දුව ගන්න වෙලාවකට තීන්දුව ක්‍රියාත්මක කරනවා.

අපි ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමඟ ගණනක් හදලා තිබෙනවා. අපේ රටට සිගරට්වලින් ලැබෙන ආදායමට වඩා දෙගුණක් ඒ සම්බන්ධ රෝග වලට ප්‍රතිකාර කිරීමට වැයවෙනවා. ලෝක බැංකුව පවා දියුණු රටවලට උපදෙස් දෙනවා දුම්කොළ ප්‍රවර්ධනය කරන්න එපා කියලා.

ඒ වගේ ජාත්‍යන්තර ආයතන කියද්දී චීන සේවකයන් 6000ක් වෙනුවෙන් සිගරට් ගෙන්වනවා. හෙට දවසේ ඉන්දියාව කිව්වොත් අපේ සේවකයන්ට බොන්න ඉන්දියන් සිගරට් ගේන්න කියලා එතකොට ඉන්දියාවෙන් ගෙන්වනවා. රුසියාව කිව්වොත් අපේ සේවකයක් ගොඩක් ඉන්නවා එතකොට රුසියාවෙන් ගෙන්වන්න වෙනවා.

අපි දැන් අවුරුදු තුනක් දුම්කොළ විරෝධී ප්‍රතිපත්තියට සම්මාන අරගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥප්තියේ වගන්ති දහයෙන් වගන්ති 9ක් සම්පූර්ණ කරලා තිබෙන්නේ. තව තියෙන්නේ තනි සිගරටව්ටුව අලෙවි කරන එක තහනම් කරන්න පමණයි.

මේ තත්වය ආපස්සට හරවන්න කටයුතු කරනවා නම් ඒ ආණ්ඩුවේ මම ඉන්නේ නෑ. ඉදිරි දිනවල පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදීත් මම මේ ගැන තදින් කථා කරනවා.”

මේ අතර අමාත්‍ය රවී කරුණනායක මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ,

“බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ල වූ චෝදනා හමුවේ මට පමණක් නොවෙයි, මාගේ බිරිඳට දරුවන්ට පවා අසාධාරණකම් සිදුවුණා. අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මේක වැඩකරන දේශපාලඥයෝ නැති කරන්න, කුහක දේශපාලඥයෝ විසින් කරපු දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි.

අද සාධාරණය ඉෂ්ඨ කරලා, සැබෑ තත්ත්වය හෙලිදරව් වෙලා තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නොවෙයි ක්‍රියාවෙන් මම සැබෑ තත්ත්වය ඔප්පු කරලා තිබෙන්නේ. මාගේ නිර්දෝෂීභාවය පෙන්නුම් කරන්න අවස්ථාවක් උදාකිරීම සම්බන්ධයෙන් මම දෙවියන්ට සහ ජනතාවට ස්තුතිවන්ත වෙනවා.

මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොඳ පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන්ගත්ත ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල්කරගෙන කටයුතු කරන්න නෙමෙයි අවශ්‍ය වන්නේ. අපට අවශ්‍ය වන්නේ අපේ ජනතාව ජයග්‍රහණය කරවන්නයි.

මට කණගාටු එක දෙයක් ගැන පමණයි. මම මුදල් අමාත්‍ය ධූරය බාරගෙන කරගෙන ගිය ක්‍රියාවලිය දිගටම කළා නම්, අද රටට මේ වගේ ගැටළු ඇතිවන්නේ නැහැ. මම වගකීමෙන් ආඩම්බරයෙන් කියන්නේ, මම ආසියාවේ හොඳම මුදල් ඇමති බවට පත්වුණේ නිකන් ඉඳලා නෙමෙයි.

පැය ගණන් වැඩකරලා, අහිංසක ජනතාව ජයග්‍රහණය කරවලයි. ඒ එදා මම කරපු කාර්යභාරය නැවත ඇති කළ යුතුයි. මම අභියෝග කරනවා දැන් ඉන්න අයට, ඒ දේවල් ඒ ආකාරයෙන්ම කරන්න කියලා. එහෙම බැරිනම්, කරන්න පුළුවන් අයට බාරදෙන්න.”