බන්ධනාගාර වල රැඳවියන්ට ඉඩ මදිවෙයි.

බන්ධනාගාර ගත වන රැදවියන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ බන්ධනාගාරවල ඉඩ පහසුකම් සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව තිබෙනවා.

මේ දිනවල දෛනිකව විශාල පිරිසක් බන්ධනාගාර ගත වන බැවින් මෙම ගැටලුව උද්ගතවී ඇති බව වාර්තා වන්නේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු දිවයින පුරා පිහිටි බොහෝ බන්ධනාගාර තුළ රැදවියන්ගේ ප්‍රමාණය විශාල ලෙස ඉහල ගොස් ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඇතැම් බන්ධනාගාරවල එක් සිරමැදිරියක් තුළ රැදවියන් හතර පස්දෙනෙකු රැඳවීමට පවා සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙම තත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගෙන් කියා සිටියේ, බන්ධනාගාර රැසක තදබදයක් පවතින අතර ඒ හේතුවෙන් කොළඹින් බැහැර බන්ධනාගාරවලට රැදවියන් යොමු කිරිමේ කටයුතු දෛනිකව සිදුවන බවයි.

එමෙන්ම ප්‍රතිවාදී කණ්ඩායම් අතර යම් ගැටුම්කාරී තත්වයන් වැලැක්වීම සඳහා අභ්‍යන්තර කළමනාකරණ වැඩපිළිවෙලක් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කර ඇති බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළා.

විශේෂයෙන් අප්‍රේල් 21 වන දින ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් වෙනමම බන්ධනාගාර තුළ රැඳවීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරි ජෙනරාල් ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියා.