> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය
- URL: https://www.citizen.lk/prime-ministers-message-on-the-occasion-of-the-78th-national-independence-day/
- Published: 2026-02-04T05:08:00.000Z
- Updated: 2026-02-05T05:09:13.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

February 04 (Citizen.lk News) - 78 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තුවෙනි. සියලු ජනතාව එක් ව ගොඩනැගූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අපි මේ වනවිට අලුත් මඟකට අවතීර්ණ වී සිටිමු.මානුෂීය ගුණාංගවලින් පිරිපුන්, කුසලතා පූර්ණ, බුද්ධිමත් අනාගත පරපුර උදෙසා අප දේශය ගොඩනැගීමේ කාර්යය මේ වනවිට රජය ආරම්භ කර තිබේ. සාරධර්මවලින් පිරි ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට පුද්ගලිකවත්, සාමුහිකවත් ඔබ සැමගේ දායකත්වය මව්බිම වෙනුවෙන් ලබා දිය යුතු කාලය එළැඹ ඇත.

සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් හරහා දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවයෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස ජනතාව මෙහෙයවීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම ඇතුළු ප්‍රමුඛ පරමාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් අපි කැපවී සිටිමු.

අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිදු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීමත්, නවීන විද්‍යා හා තාක්ෂණ දියුණුව ඔස්සේ ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීමට කටයුතු කරමින් ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමඟ වඩා විශ්වසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව සන්නාමගත කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇත.

මේ සඳහා පටු දේශපාලන අරමුණු පසෙකලා සමස්ත ජාතියේ උන්නතිය වෙනුවෙන් අපි සියලුදෙනාම අත්වැල් බැඳගත යුතු යුගය ඇරඹී තිබේ. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 78 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේ දී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.

ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය

2026 පෙබරවාරි 04 දින.