පොහොර සමඟ තව මොනවද නිකං ලැබෙන්නේ?

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද පොරොන්දු අතර රසායනික පොහොර නොමිලේ ලබා දීම තමාගේ අප්‍රසාදයට හේතුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ලිපිය ලියන මොහොත දක්වා ප්‍රධාන අපේක්ෂකයන් ලෙස හැඳින්වෙන සම්ප්‍රදායික දේශපාලන ධාරා වලින් පැමිණෙන අපේක්ෂකයන් දෙදෙනෙකු මෙලෙස පොහොර නොමිලේ දෙන බව ගොවි ජනපද සිසාරා පවසමින් යයි.

කලක පටන් රසායනික පොහොර නොමැතිව ශ්‍රී ලංකාවට ගොවිතැන් කළ නොහැකි බවට සමාජ මතයක් ඇතිව ඇත. එය ඇතැම් කෘෂිකර්ම නිලධාරීන්ගේ ද මතයයි. ඒ නිලධාරීන් පොහොර සමාගම් වල ආශීර්වාදයෙන් එසේ පවසා ගොවින් මුලා කරමින් සිටිනවා ද විය හැකි. කෙසේ වෙතත් කණගාටුවට කරුණ නම් පොහොර සමාගම් වලින් ප්‍රතිලාභ නොලබා පවා ඇතැම් කෘෂි බලධාරීන් මෙම මිත්‍යා මතය විශ්වාස කිරීමයි.

ශ්‍රී ලංකාව අතීතයේ දී කෘෂිකර්මයෙන් සශ්‍රීකව සිටි බව අප අසා ඇත. අපට පරම්පරාවකට දෙකකට එහා රසායනික පොහොර නොමැතිව අගේට ගොවිතැන් කළ ගොවීහූ සිටි බව අප අසා ඇත. එමෙන්ම දැනුදු එසේ වගා කටයුතු කරන ගොවීහූ විරල නැත.

කාබනික ආහාර සඳහා අද වන විට ලොව විශාලතම ඉල්ලුම ඇත. පාරිභෝගිකයා කාබනික ආහාර සඳහා වටිනාකම මෙන් දෙගුණයක් පවා ගෙවීමට සූදානම් ය. එවන් පසුබිමක ගොවියන් හෝ නිලධාරීන් හෝ ප්‍රජාව හෝ අඩුම තරමින් රටට මඟ කියන නායකයන් හෝ මේ ගැන ගොවීන්ගේ අවධානය උනන්දුව යොමු කර කටයුතු කිරීමට සුදානම් නැති බව ජනාධිපති අපේක්ෂකයන්ගේ කථා වලින් පෙනෙයි.

වස විස නැති රටක් යනුවෙන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර සාර්ථකව ආදර්ශ ගොවි බිම් වලින් අසවැන්න නෙලූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අලුත් ජනාධිපති අපේක්ෂකයන්ට දෝෂාරෝපණය කිරීමට පූර්ණ සදාචාරාත්මක අයිතියක් ඇත. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයන්ට අවශ්‍ය හොඳම දේ නොව ජනතාව ඉල්ලන හොඳ හෝ නරක ලබා දී තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගැනීමයි.

එවැනි මතයක් දරන පිරිස් වල ඇති භයානක බව නම් ජනතාවගේ වැඩි කැමැත්ත කෙතරම් අවැඩක් සිදු කලත් එය අනුමත කිරීමයි.

ලංකාව ලොව විෂ සහිතම ආහාර තිබෙන රටවල් අතර ප්‍රමුඛ රටයි. එබැවින් ජනාධිපති අපේක්ෂකයන්ගේ වගකීම වන්නේ ජනතාවට හුරේ දැමීම ට රසායනික පොහොර නොමිලේ දෙන බව කීමද ප්‍රශ්නයකි. වත්මත් ජනාධිපතිවරයාගේ අදහසට ප්‍රචාරයක් නොදුන් මාධ්‍ය ආයතන ගෙන ඇත්තේ ද කණගාටුවක් ඇත. මන්ද ඔවුහු ඔවුන් පැය 24 පුරා පවසන පරිදි ජනතාවාදී නැත. ඔවුන් නිතරම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය අනුව කට‍යුතු කරමින් සිටියි. එම නිසා ඔවුන්ට වත්මන් ජනපතිගේ ජනතාවාදී ට්විටර් පණිවිඩය නොපෙනී ඇත.

කිසියම් ලෙසකින් ජනාධිපතිවරයා එකී අපේක්ෂකයන් අගය කරමින් ට්විටර් නිවේදනයක් නිකුත් කරේ නම්, නිසැකවම ඒ ඒ අපේක්ෂකයාට සහය දක්වන මාධ්‍ය BREAKING NEWS දමනු ඇත.
ඔබට උදේ හවා sms එවනු ඇත.

බොහෝ විද්වතුන් යැයි කියාගත් උදවිය පවසන්නේ රසායනික පොහොර නිසා වකුගඩු රෝග සදෙන බවට තහවුරු වී නොමැති බවයි. එනමුත් එම තර්කය වකුගඩු රෝගය අමතක කිරීමට හෝ රසායනික පොහොර භාවිතය දිරිගැන්වීමට සුදුසු හේතු නොසපයයි.

මහා විශාල වකුගඩු රෝහල් වාට්ටු සදන්නට වෙහෙසෙන පාලකයන්ට වකුගඩු රෝගයේ රෝග නිධානය සොයන්නට හෝ රසායනික පොහොර වෙනුවට කාබනික ගොවිතැන දිරිගන්වන්නට මුදල් හෝ කාලයක් නොමැත.

එවැනි පාලකයන් ඔබ පත් කරගන්නා තුරු ඔබේ ඥාතීන් වකුගඩු රෝගයෙන් පිළිකාවෙන් මියයනු ඇත. ඔබත් මමත් ලොව විස අධිකම කෑම තුන්වේලටම අනුභව කරනු ඇත.

දේශපාලකයා, රෝහල් වාට්ටු සොහොන් පිට්ටනි හදන කොන්ත්‍රාත්තු වලින් කොමිස් ගසා වායු සමනය කළ වාහන වලින් ඇවිත් කාබනික ආහාර තමන්ටත් දරුවන්ටත් කවා පවා ඔබේ බදු මුදලින් ඔබේ විපත් ගැන ශෝක පණිවිඩ එවනු ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න