ජනපති කැබිනට් මණ්ඩලයට අනතුරු අඟවයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාව ජාතික බුද්ධි සේවයත් ජාතික ආරක්‍ෂාව ගැනත් තැකීමක් නොමැතිව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් තමා ආණ්ඩුවේ කිසිම කටයුත්තකට සහය නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) රාත‍්‍රියේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

තේරීම් කාරක සභාව දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා කැබිනට් රැස්වීම් වලටද සහභාගී නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇති බව සඳහන්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ කි‍්‍රයා කළාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කොට ඇති ජනාධිපතිවරයා රහස්‍ය තොරතුරු පනතද උල්ලංඝණය කරමින් තේරීම් කාරක සභාව කටයුතු කරන බවටද චෝදනා එල්ල කර තිබෙනවා.

බුද්ධි අංශ නිලධාරීන් කාරත සභාවට ගෙන්වා මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් තොරතුරු විමසීම රටේ ජාතික ආරක්‍ෂාවටත් ජාතික බුද්ධි සේවාවටත් බරපතල තර්ජනයක් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණයේ පෙත්සම් පහක් විභාග කෙරෙන අවස්ථාවේ තේරීම් කරක සභාවේ කටයුතු එම පෙත්සම් විභාගයට බාධාවක් බව නීතීපතිවරයා දැනුම් දී ඇති බවත් නීතීපතිවරයාගේ එම වාර්තාව කතානායකවරයා වෙත යොමු කොට ඇති නමුත් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නැති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ මේ ආකාරයෙන් නම් ආණ්ඩුවේ වැඩ වලට සහය නොදෙන බවත් ජනාධිපතිවරයා ලෙස තමාගේ කටයුතු පමණක් කරගෙන යන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමතිවරුන් කිහිප දෙනෙක් පෙන්වා දී ඇත්තේ තේරීම් කාරක සභාවේ කටයුතු ජාතික ආරක්‍ෂාවට හෝ ජාතික බුද්ධි සේවාවේ කටයුතු වලට බාධාවක් නොවන අයුරින් පවත්වාගෙන ගෙන බවයි.

තේරීම් කාරක සභාවේ සාක්කි විමසීමේදී ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද එම ඇමතිවරුන් ප‍්‍රකාශ කොට ඇති බවද දැනගන්න ලැබෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) රාත‍්‍රීයේ කැඳවා තිබු හදිසි කැබිනට් රැස්වීම පැයකට අධික කාලයක් පැවැති බවද වාර්තා විය.