ජෝරා මරන සුද්දේ පෝය අදයි. – දකුණට විශේෂයි.

සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගොස් එළඹෙන හතරවන පෝ දිනය ගිං ගෙඟ් සිට බෙන්තර ගඟ දක්වා ජනතාවට විශේෂ දවසක්. ඒකට හේතුව ප‍්‍රාදේශීය දේව මංගල්‍යයක් වන සුද්දෙ පෝය යෙදී තිබීම. කිරි පෝය ලෙසත් එය හඳුන්වනවා. මෙම පෝය ඇසළ හෝ නිකිණි මාසවල යෙදෙනවා.

සුද්දෙ පෝය දිනය නිර්මාණය වී ඇත්තේ කතරගම දෙවියන් කේන්ද්‍ර කරගෙන ගමේ දේවාලය/කෝවිල/ගම්මඩුව ඇසුරෙයි. මෙහි ඉතිහාසය දෙවන පැරකුම්බා රජුගේ දේවපතිරාජ අමාත්‍යවරයා මෙම ප‍්‍රදේශය පාලනය කළ යුගය දක්වා දිවෙන බව සැලකෙනවා. මෙම උලෙළට අදාළ චාරිත‍්‍ර වාරිත‍්‍ර පද්ධතියක් සේම ඒ සිරිත් විරිත්වලටම ආවේණික වූ වාක්කෝෂයක්ද තිබෙනවා.

මෙහි සමාරම්භය සිදුවන්නේ කපුමහත්වරු පේ පැල් යාම හෙවත් පේ ගෙට යෑමෙන්. ඒ අනුව කපුමහත්වරු පෝයට සතියකට පමණ පෙර බදාදා හෝ සෙනසුරාදා දිනයක ඒ ඒ ගම්වල පිහිටි දේවාලවල නවාතැන් ගැනීමට යනවා. ඔවුන් නැවත නිවෙස් බලා යන්නේ සියලූ උත්සව කටයුතු අවසානයේදීයී. කපුමහතුන් පේ ගෙට ගිය පසු ගම්වැසියෝ තෙල් වළං ලිප තැබීමෙන් හා පිටි කෙටීමෙන් බැහැර වෙනවා.

ඒ කාලවකවානුවේදී ගම්වැසියෝ දේවාලයට ගොස් භාර හාර වීම් සිදු කරනවා. නිවසේ මකුළු දැල් කඩා ගේ සෝදනවා. ඇතැම් නිවෙස්වල මුහුදු වතුරෙන් නිවස සෝදා කහ දියර ඉසිනවා. දේවාලයට යාමට පෙර පවිත‍්‍ර වී නළලේ දෙහි ගානවා. බෙලිකොළයක් ගෙන එයින් ගොට්ටක් සදා නිවසේ සෑම පුද්ගලයකුටම පඬුරු කාසියක් දමන අතර එම පඬුරේද දෙහි ආලේප කරනවා.

රතු සහ නිල් මල්ද කඩාගෙන දේවාලයට යන ගැමියෝ පළමුව දේවාලයේ බුදු කුටියේ මල් පහන් සුවඳ දුම් දල්වනවා. අනතුරුව දේවාලය ඉදිරි පිට ඇති රූප මිලට ගන්නා ස්ථානයෙන් භාර වීමට රූප මිලදී ගනු ලබනවා. තඹ සහ පිත්තලවලින් තැනුණු කුඩා මිනිස් රූප, නිවෙස්වල රූප, යාන වාහන රූප එහි වෙයි. මෙය හඳුන්වන්නේ රූපයට රූපයක් භාර වීමක් ලෙසයි. අනතුරුව රූප පඬුරු භාරගන්නා දේවාලයට ගොස් පෝලිමේ සිටිනවා. කපු මහතා පැමිණ එම භාර හාර ගෙන සියලූ දෙනාටම යාතිකා කොට කහ දියර මුසු පැන් හිසට ඉසින අතර ඇතැමෙක් එම පැන් ගෙන පානය කරනු ලබනවා. අනතුරුව ඒ අසළ ඇති මහා දේවාලයට ගොස් සලං සැලීම නම් චාරිත‍්‍රය ඉටු කරන තෙක් බැතිමත්හු අසුන් ගෙන සිටිනවා.

සලං සැලීම යනු කපු මහතා විසින් රතු සාටකයක් පැළඳ එක් අතකින් ගෙජ්ජි වළළ්ලක් බැතිමතුන්ගේ හිසට ඉහළින් සලමින් යාතිකා කරමින් ගමන් කිරීමයි. කපු මහතාගේ අනෙක් අතැති පූජා වට්ටියට මුදලක් දැමීමද ඒ අවස්ථාවේදී බැතිමත්හු සිදු කරනු ලබනවා. පෝයට දෙදිනකට පෙර කපු මහතුන් ලැබුණු පුද පූජා රැගෙන කතරගම බලා පිටත් වෙනවා. එය හඳුන්වන්නේ අලූත් දැක්ම රැගෙන ඉස්සර බැලීම යනුවෙන්.

වැදගත්ම සිරිත එළඹෙන්නේ පෝදා රාත‍්‍රියේදීයී. එදින පුන් පෝ දිනක් වුවද මෙම ප‍්‍රදේශවල බෞද්ධ බැතිමත්හු සිල් ගැනීම ඉතා දුර්ලභ වන්නේ සවස පොහොය චාරිත‍්‍රවලට සූදානම්වන නිසාවෙන්. කිළි නොගෑවුණු එනම් මරණාදී අශුභ දේ සිදු නොවුණු සෑම නිවසකම මේ සිරිත් ඉටු කෙරෙනවා. තම නිවස ඉදිරියේ ගොක්කොළවලින් සැදුණු මල්/පහන් පැලක් ඉදි කිරීම සන්ධ්‍යා භාගයේදී සිදු කරනු ලබනවා. රාත‍්‍රී අඳුර වැටෙන විට අලූතෙන් ගෙනා හට්ටි මුට්ටිවල කිරිබතක් සහ කිරියා හෙවත් කිරි කැකෑරුම් ලෙස හඳුන්වන ආහාරයක් පිස ගනු ලබනවා. සීනි පැණි හකුරු ගින්නෙන් උණු කර ඉගම්මිරිස් මුද්දරප්පලම් ආදී ද්‍රව්‍ය යොදා හාල් පිටි යොදා ගනිමින් මෙය තනා ගනියි. හික්කඩුව ප‍්‍රදේශයේ බත් සමග මුරුංගා හෝ තක්කාලි සම්බල්ද නැත්නම් බත් සමග දෙල්ද පිසිනු දකින්නට පුළුවන්. කෙසෙල් කොළයක තැනූ ගොට්ටක ඒ දේව දානය තබා මිදුලේ පහන් පැලෙහි තබනවා. පහනක් දල්වා පඬුරු තබා සම්බ‍්‍රාන්දි අල්වා පවුලේ සැම සුදුවතින් සැරසී පළමුව බුදුන් වැඳ දෙවනුව දේව කන්නලව්වක්ද කරමින් අනතුරුව මළගිය නෑසිය පරපුරද එහිදී සිහි කරනු ලබනවා. අනතුරුව නිවසේ සාලයේ බිම පැදුරු එලා පහනක් දල්වා මේ ආහාර කෙසෙල් කොළවලට බෙදා ආහාර බුදින අතර මියගිය අය සිහිකරනු වස් කෑමට පෙර කෙසෙල් කොළයක ආහාර තබා කෑමෙන් පසු ගෙවත්තේ ඉහළ ස්ථානයක තබනවා. තමනට යම් අහරක් එපා නම් එය බෙදන විට කරුණාවයි යයි කියනවා.ගෘහ මූලිකයා සැමටම අහර බෙදීම සිදු කරනවා. මෙය ජොරා මැරීම නම් විශේෂ නාමයකින් හැඳින්වෙනවා.

මේ සිරිත් අවසන ගම් වැසියෝ නින්දට ගියද පසු ගමේ තරුණයන් නම් නිදි නැහැ. ඔවුහු ගෙයින් ගෙට ගොස් පැලේ තැබූ දේව දානය හොරෙන් ගෙන කනවා. එය ගොටු උස්සනවා නම් වෙනවා. වෙනදාට හොරෙන් නිවසට පැමිණි විට පොලීසියට දැනුම් දෙන නිවැසියෝ මේ දැක සතුටින් ඉවසන්නේ ඒ වන විට නිවසේ දේව දාන සිරිත ඉටු කොට අවසන් නිසාවෙන්. තරුණයන් විසින් හදිසියට දානෙ ගොටුව යැයි සිතා නිවුණු පහන කටේ දා ගන්නා ප‍්‍රවෘත්තිද ඒ විනෝද අවස්ථාවේදී වාර්තා වනවා.

පෝයට පසුදා උදේ වෙන් කොට තැබූ දානය පන්සලේ ස්වාමීන්වහන්සේට පිදීමද සිදු කෙරෙනවා. එම දානයේ කොටස් පසුදා උදෑසන රාජකාරි ස්ථානවලට ගෙන යන්නටද මේ ප‍්‍රදේශවාසීහු අමතක කරන්නේ නැහැ .

පසුදා දේවාලවල මහා මංගල්‍ය පැවැත්වෙනවා. බැතිමතුන් පඬුරු ගැට ගැසූ පුවක් ගසකින් සැකසූ මහාකාලපන්දම ඔසවා, කාවඩි නටා, පොර පොල් ගසා, ගිනි පාගා ගමටම සෙත් පතා දේව දානය දේවාලයේම පිස සියලූ බැතිමතුන්ට බෙදීමෙන් මේ වාර්ෂික මංගල්‍ය අවසන් වනවා. ඇතැම් තැන්වල ගමේ වීථී සංචාරය කරන දේවාල පෙරහැරක්ද දැකිය හැකි වනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න