තිදෙනෙකුගේ දිවි බේරූ ප්ලාස්ටික් බෝතලය

කර්ටිස් විට්සන්, ඔහුගේ පෙම්වතිය සහ ඔහුගේ 13 හැවිරිදි පුත්‍රයා සමඟ මධ්‍යම කැලිෆෝර්නියාවේ ඇරොයෝ සෙකෝ ගංගාවට පිවිසෙන අතුරු ඇළ මාර්ගයක සිට ගංගාවේ දිය ඇල්ල දෙසට සංචාරයක් අරඹයි. ඔවුන්ගේ අරමුණ වූයේ ඇරොයෝ සෙකෝ ගඟ තෙක් පාගමන් සංචාරයකින් පැමිණීමයි. දුෂ්කර සහ ත්‍රාසජනක ගමනකට සූදානම් සහිතව පැමිණි ඔවුන්ට ගමනේ මුල්කොටසේ තිබූ දුෂ්කර කොටස ගැන එතරම් ලොකු ගැටළුවක් නොවීය.

අරෝයෝ සෙකෝ දිය ඇල්ල

එනමුත් ඔවුන්ට වැටහී ගියේ ඉදිරියට යත්ම ඇල මාර්ගය පටු වන අතර අඩි 40ක් පමණ උසට දෙපස ඉවුරු බිත්තියක් සේ ඉහලට නැගෙන බවයි. ඔවුන්ගේ සන්නිවේදන උපකරණ සංඥා නොලැබී යාම නිසා ක්‍රියාවිරහිත ව තිබේ. ඒ අනුව වෙන කළහැකි කිසිවක් නොවූ බැවින් ඔවුන් ප්ලාස්ටික් බෝතලයක එස් ඕ එස් උපකාරක සංඥාවක් සටහන් කර ඇල මාර්ගය දිගේ පා කර යවා ඇත.

මෙම බෝතලය එම ස්ථානයට ඉදිරියෙන් ඇළ මාර්ගය දිගේ ගමන් කරමින් සිටි කඳු නඟින්නන් දෙදෙනෙකුට හමුවී ඇත. වහා ක්‍රියාත්මක වූ ඔවුන් මාර්ග මුර සංචාරක පොලිස් නිලධාරීන්ට සිද්ධිය ගැන දැනුම් දී ඇත.

පැය කීපයකට පසුව තිදෙනාම මුදා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකි වී ඇත. කෙසේ වෙතත් ඊට මුහුණ දුන් කර්ටීස් සහ ඔහුගේ පෙම්වතිය දෙදෙනාම පැවසුවේ තමන්ට ඉදිරියට යාමට හෝ නැවත ඒමට නොහැකි ලෙස ජල මට්ටම සහ රළු බෑවුම් බිත්තිය සකස්වී තිබුණු බවයි. එබැවින් ඔවුන් ජීවත් වීමේ බලාපොරොත්තු අත්හැර දමා තිබී ඇත.

කෙසේ වෙතත් ඔවුන් නොසිතු ලෙස ප්ලාස්ටික් බෝතලයෙන් යැවු පණිවිඩය ඔවුන්ගේ දිවි බේරා ඇත.

CBS – Newspath video