තැන තැන කසළ නොතියා අවසන් වූ බෝරා සමුළුව

සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 10 දක්වා කොළඹ පැවති බෝරා මුස්ලිම් වරුන්ගේ සමුළුව හෙටින් අවසන් වේ. මෙම සමුළුව සඳහා සහභාගී වීමට 21,000ක පමණ පිරිසක් විවිධ රටවල් වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතර ඔවුන් කොළඹ බම්බලපිටිය මුහුදු මාවත කේන්ද්‍ර කරගනිමින් තම සමුළුවේ කටයුතු සිදු කළහ.

ඔවුන්ගේ පැමිණීම සමඟ කොළඹ අවට සංචාරක හෝටල් සියල්ලම පාහේ පිරී ඉතිරී ගියහ. දිනපතා කෑම වේල් 60,000ක් පමණ ඔවුන් වෙනුවෙන් පිළියෙළ විය. කෙසේ වෙතත් සමුළු සංවිධායකයන් සඳහන් කළේ කෑම හෝ වෙනත් කිසිවක් අපතේ නොයන ලෙස කටයුතු කිරීමට ඔවුන් සූදානමින් පසුවූ බවයි.

දිනපතා එකතු වූ කාබනික කසල නිසිලෙස බැහැර කර කොම්පෝස්ට් සකස් කිරීම සඳහා යොදවා තිබුණු අතර සමුළුව පැවති ස්ථාන වලද කසල බැහැර කිරීම ක්‍රමවත් ව සහ අවම මට්ටමක පවත්වාගෙන යාමට ඔවුන් සමත්විය.

වාර්ෂිකව පැවැත්වෙන දළඳා පෙරහර, ශ්‍රී පාද වන්දනා සමය ආදී අවස්ථා වල ශ්‍රී ලාංකිකයන් කුණුකසල බැහැර කිරීමේ දී දක්වන ආකල්ප වලට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකට ඔවුන් සමුළුව සංවිධානය කර තිබිණි. ආගමික කටයුත්තකට පැමිණෙන විට, එම ආගමික කාරණය ගැන සැලකිල්ලට ගෙන හෝ ශ්‍රී ලාංකිකයන් මීට වඩා වියනුකුලව සහ අදාල ආගමික ස්ථානයට ගෞරවයෙන් කටයුතු කරන්නේ නම්, මහනුවර, අනුරාධපුර වැනි පූජා නගර වල හෝ ශ්‍රී පාද රක්ෂිතයේ කුණු කඳු ගොඩ නොගැසෙනු ඇත.

කෙසේ වෙතත් පාස්කු දින ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ නැගීම සඳහා සැලකිය යුතු පිටුවහලක් මෙම සමුළුව මගින් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.