Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

සොබාදහම දැන් මිනිසුන්ට දඬුවම් දෙන්න පටන්අරන් කියා සිතෙනවා. ඒ කියන්නේ එතකොට අපි හැමෝටම දඬුවම් විඳින්න වෙනවා. පරිසරයේ මුර දෙවියන් වන ගහකොළ වනසන උදවියට නිසි දඬුවම් නොදීම හේතුවෙන් දැන් දැන් බරපතළ විනාශයක් ‍දොරකොදට ඇවිත් ඇති බව පෙනෙමින් තිබෙනවා.


සෑම වසරකම සැප්තැම්බර් 16 වැනිදා ඕසෝන් ස්තරය සංරක්ෂණය කිරීමේ ජාතික දිනයයි. ඒ දිනය සමස්ත ලෝකයටම වැදගත්. ඕසෝන් ස්තරය මඟින්, ලෝකවාසී ජනතාවට දෙන ආරක්ෂාව හා සමානවම වනගහනය මඟින් සතා සිවුපාවුන්ට හා සමස්ත රට වැසියනට දෙන ආරක්ෂාව ඉතා වැදගත් වනවා.

මැතිවරණ කාලයට වේදිකා මතට නැඟ ජනතාව, පරිසරය ආරක්ෂා කරන බවට දහසක් පොරොන්දු දෙන දේශපාලනඥයන් ගහකොළවල වනාන්තරවල වැදගත්කම හොඳටම දැන දැනත් පටු අරමුණු ඉටු කර ගන්නට කැලෑ පීරන්නට පටන්ගෙන සිටින හැටි මෑත කාලයේ පැහැදිලිවම දැක ගන්නට පුළුවන්.

ආනවිලුන්දාව, වනාතවිල්ලුව, ආඬිගල, හන්තානේ කන්ද, මුවගල යනාදී වශයෙන් විනාශ කොට දමන ලද වනභූමි හා කඩොලාන අඩවි රැසක් ගැනම තොරතුරු අනාවරණය වී වැඩි කාලයත් නොවේ.

ඒ අතර අකුරල ගල්දූව, දිඹුල්දූව, ග්‍රාම සේවා වසම්වල පිහිටි ජල හා කඩොලාන කලාප වනසා දමා ඇති බවද වාර්තා වනවා. උඩවලව රක්ෂිතයේ අක්කර 40ක් ඩෝසර් කර ඇති බවට තවත් වාර්තාවක්. පරිසර හිතකාමීන්ගේ බලවත් විරෝධතා රටේ හතර පැත්තෙන්ම එල්ල වී තිබුණද මේ නොනවතින වන සංහාරයේ පුරෝගාමීන්ට තවමත් නිසි රැකවරණ ලැබීමේ රහස කුමක්ද?

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක වනාතවිල්ලුව ගැන කියන්නේ එය නීල හරිත වනාන්තරයක් බවට පත් කිරීමේ කටයුත්ත මසකින් ආරම්භ කරන බවයි. නීල හරිත යනු සුන්දර වචන දෙකකි. ඉතිහාසයේ ‘හරිත’ උද්‍යාන නිර්මාණය කරන බව රටට පැවැසූ දේශපාලනඥයෝ ඕනෑ තරම් සිටියා. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් ලෙහෙසියෙන් කියන්නට හැකිය. එහෙත් අමාරුවේ වැටෙන්නේ කරන්නට ගිය විටය. 

මේගැන අදහස් දැක්වූ ආදීවාසී නායකයා මෙසේ කියයි. “මෙහෙම පරිසර විනාශයක් සිදු වුණොත් කොරෝනා හැදිලා චීනයේ අමෙරිකාවේ මිනිස්සු මිය ගියාට වඩා ලෝකෙම මිනිස්සු එක දවසක මියයන දවස ළං වේවි.”

ඒ ප්‍රකාශය සත්‍යයක් වන්නට ඉඩ නොතැබීම සියල්ලන්ගේම වගකීමයි.




Recent Stories