Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

විශ්වවිද්‍යාලවල ඇති නවක වදය තවමත් නතර වී නැහැ. නවක වදය නිසාවෙන් සරසවි අධ්‍යාපනය අත්හැර  දමා ගිය පිරිස්ද දහස් ගණනක් වනවා. එසේ සරසවි හැර ගිය පිරිස්ද විශාදය, භීතිකාව, ක්ලමථය  වැනි මානසික ආබාධ තත්ත්වයන්ට මුහුණ දී සිටින බවද රහසක් නොවේ. නවක වධකයෝද හීනමානය, පෞරුෂ අක්‍රමිකතා, අපයෝජිත තත්ත්වයන් හා අනාරක්ෂිත හැඟීම් මත මෙවැනි අමානුෂීය සමාජ පීඩනයන්ට හවුල්වන බව පර්යේෂකයන්ගේ අදහසය. 

අද වනවිට නවක වදය නීතියෙන්ද තහනම්  කොට ඇත. ඒ සම්බන්ධව වරදකරුවකු වූ අයකුට වසර 10 දක්වා සිර දඬුවම් ලබාදීමටද පියවර ගත හැකිය. මෙවැනි තත්ත්වයක් පැවැතියද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී ඇති තොරතුරුවලින් පෙන්වා දෙන්නේ අම්පාර ඔළුවිල්හි පිහිටි අග්නිදිග විශ්වවිද්‍යාලයේ නවක සිසුන් නිරුවත්කොට නවක වදයට ලක්කොට ඇති බවයි.

 නවක වද ක්‍රියාකාරකම් මෙහෙයවන සිසුන් හඳුනාගැනීමේ වැදගත්කම පත්කරන ලද කමිටුවේ අවධානයට ලක්ව තිබේ. ඒ සඳහා රාජ්‍ය බුද්ධි අංශ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටද රජයේ තීරණය කොට ඇති බව දැනගන්නට තිබෙනවා.

දැන් අපට පාතාලය ගැන, කුඩු ගැන කතා කරන මිනිසුන් වෙනුවට ඒවා මැඬලන්නට පියවර ගන්නා පාලක පිරිසක් පෙනෙන්නට සිටිති. නවක වදය ගැන වුවද යම් විශ්වාසයකින් යුතුව ආයෙත් යමක් ලියන්නට අප අදහස් කළේ, මේ ගමනවත් මේ විකාරයෙන් නිදහස් වී මේ රටේ අහිංසක සිසු පරපුර කායික මානසික නිරෝගී භාවයෙන් යුතු පිරිසක් වනු දකින්නටය. 

මේ නිසාම අප මේ නවක වදය තහනමට ලක් කිරීම ගැන මත විමසීමක් කළා.





මේ එහිදී ලැබුණු ප්‍රතිචාර කිහිපයකි.

වාසනාවට තවමත් මේ රටේ ක්‍රියාත්මක වන්නේ පොදු නීතියයි. මේ රටේ සෑම පුරවැසියකුටම නිදහසේ ජීවත්වන්නට නිදහසේ ඉගෙන ගන්නට ඉඩකඩ තිබිය යුතුය. නවක වදයෙන් අහිමි වන්නේ ඒ මානව නිදහසය. අකුරු කිරීමේ අයිතිවාසිකමය. සමස්ත සමාජය තුළම මේ නිදහස එකසේ භුක්ති විඳින්නට හැකිවිය යුතුය. එහෙත් මේ රටේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, ප්‍රචණ්ඩත්වයේ කලාප බවට පත්කරන්නට ඉඩ දිය යුතුද? උසස් අධ්‍යාපන අපේක්ෂා ඇතිව සරසවි වරම් ලබන අතළොස්සක් පිරිස් ප්‍රචණ්ඩ කාමුක වධකයන්ගේ ගොදුරු බවට පත්කළ යුතුද? - ප්‍රසන්න පෙරේරා 

නවක වදේ පංති විෂමතාවේ ප්‍රකාශනයකි.. -  පුන්සර දිසානායක 



'නවක වදය තහනම්' යනුවෙන් පුවත්පත්වල මුල්පිටු සිරස්තල පළවී තිබුණා අපට මතකය. විද්‍යුත් මාධ්‍යවලින්ද පුවත් ඉස්මතුකොට හුවා දක්වා පවසනු  මතකය. ඒ සම්බන්ධව නව නීති ගෙන එමින් වරදකරුවනට නිසි දඬුවම් දෙන්නට කතිකා කළ හැටිද මතකය. ඒ සියල්ල එසේ සිදුවෙද්දී නවක වදය යන වචන දෙක තවමත් දෛනික ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්නට නොහැකි වී තිබේ. -  අමිල පෙරේරා 


මේ අනුව පෙනී යන්නේ ජනතාව විශ්වාසය තබා තිබෙන ආණ්ඩුව රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට සැරසෙයි. අධ්‍යාපනයද වෙනස් විය යුතු බවට මත පළවෙයි. වෙනස් වූ පමණින්ම එය හොඳද නරකද කියන්නට අප ඉක්මන් වියයුතු නැත. එහෙත් රටට හානිකර, ජාතියට වින කරන, රටේ යෞවන පරපුරට අවැඩ සලසන, නීති විරෝධී, විනය විරෝධී හැම දෙයක්ම වෙනස් විය යුතුය. බරපතළ විනාශකාරී දේ නැත්තටම නැති කළ යුතුය. 

සැබවින්ම නවක වදය විනාශකාරීය, බරපතළය, නැවැත්විය යුතුමය.


Recent Stories