Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ප්‍රියංකා චෝප්රා ඉපදෙන්නේ 1982 අවුරුද්දේ ජූලි දහ අටවෙනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජාම්ෂෙද්පූර් වලදී අශෝක් සහ මධූ චෝප්රා යුවලගේ පළවෙනි දරුවා විදිහට. අවුරුදු හතක් බාල මල්ලි කෙනෙක් ප්‍රියංකාට ඉන්නවා. අශෝක් සහ මධූ චෝප්රා දෙන්නාම ඉන්දියන් ආමි එකේ ඩොක්ට'ස්ලා විදිහටයි වැඩ කළේ. ඒ නිසාම ප්‍රියංකාටයි මල්ලිටයි පොඩි කාලෙ ඉඳලම ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල ජංගම ජීවිතයක් ගත කරන්න සිද්ධ වුණා අම්මටයි තාත්තටයි ට්‍රාන්ස්ෆ'ස් එන එන සැරේට යන්න වෙන හින්දා. මේ හේතුව නිසා ප්‍රියංකාට සම වයසේ ළමයි එක්ක ලෝන්ග් ට'ම් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගන්න ගොඩක් අමාරු වුණා. හැබැයි මේ ට්‍රාන්ස්ෆ' වැඩේ නිසා එකිනෙකට වෙනස් සමාජ ඇසුරක්, ඝට්ටනයක් සිද්ධ වෙනකොට පොඩි වයසට ජීවිතේට වෙනස් එක්ස්පීරියන්ස'ස් එකතු වෙන්න ගත්තා නිරායාසයෙන්ම.

ප්‍රියංකාගේ දෙමවුපියෝ උගත්. ඒත් උගත් වුණා නැතා කොයි අම්මා තාත්තාත් බලන්නේ ළමයින්ට උපරිම අධ්‍යාපන පහසුකම් දෙන්න. ඒ නිසා 1995 දී ප්‍රියංකා තමන්ගේ නැන්දා ඉන්න ඇමෙරිකාවේ මැසචුසේ ප්‍රාන්තයට යන්නේ විධිමත් පාසල් අධ්‍යාපනයක් ලබාගන්න. ඇමරිකාවේ එඩියුකේෂන් සිස්ටම් එක හොඳයි කියලා හැමෝම දන්නවනේ. වැඩේ කියන්නේ නැන්දාගේ පවුලත් ප්‍රියංකාගේ පවුල වගේම ට්‍රාන්ස්ෆ' ජීවිතයක් ගත කළේ. නිව්ටන්, මැසචුසේ, අයෝවා, නිව්යෝක් වගේ ප්‍රාන්ත කිහිපයකම ප්‍රියංකා ඉස්කෝලෙ ගියා. නමුත් එහේ එඩියුකේෂන් සිස්ටම් හොඳ වුණාට ළමයි හොඳ වුණේ නෑ. ප්‍රියංකාගේ ඇමරිකන් හයිස්කූල් ගමන සුන්දර එකක් වුණේ නෑ. ප්‍රියංකාට තියෙන්නේ අපේ තලෙළු හම. ඒ නිසා පාටින් අඩු පෙනුම සුද්දන් මැද්දේ වැඩියෙන් කැපී පෙනුනාම බ්ලැක් ලයිව්ස් මැට' කැටගරියටම අපිත් වැටෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. ප්‍රියංකා ඉන්දියන් කෙල්ලෙක් වුණු හින්දා, ඒ තරම්ම සල්ලි බාගෙ නැති සාමාන්‍ය කෙල්ලෙක් වුණු හින්දා ඉස්කෝලේ අනිත් ඇමෙරිකන් ළමයි දිගින් දිගටම ප්‍රියංකාව බුලී කරනවා. විශ්වාස කරන්න අමාරු වැඩේ තමයි, ප්‍රියංකාව බුලී කරපු අයගෙන් ප්‍රධානම ළමයා සුද්දෙක් නෙවෙයි, කල්ලෙක්. ඇෆ්‍රිකන් ඇමරිකන් සම්භවයක් තිබ්බ ළමයෙක්. ඒ නිසා මේ බුලීං කියන දේ සුද්දෝ විතරක්මයි කරන්නේ කියන නිගමනයට අපිට එන්න බෑ. රට දියුණු වුණාට ඇමෙරිකාවෙත් මෝඩයෝ ඉන්නවා. මේ බුලීං උග්‍ර වෙනකොට අන්තිමට ප්‍රියංකා තමන්ගේ ෆ්‍රී ප්‍රීරියඩ්ස් වල ඉන්නේ, කොටින්ම ලන්ච් බ්‍රේක් එකේදී නිදහසේ කෑමක් කටක් ගන්නේ වොෂ්රූම් එක අස්සේ. සියලු දුක් කරදර, කොන් කිරීම් විඳ දරාගෙන ප්‍රියංකා තමන්ගේ ටැලන්ට්ස් පොලිෂ් කරගන්න ඇමෙරිකන් පහසුකම් උපයෝගී කරගන්නවා. ගහන්න ගහන්න ඔලුව නවං හිටියොත් තමන්ම මෝඩයා වෙනවනේ. ඒ නිසා පොතපතේ වැඩට අමතරව ස්ටේජ් ඩ්‍රාමා වැඩ, වෙස්ට'න් මියුසික් වැඩ, ඩාන්සිං වගේ දේවල් ඉගෙනගන්නවා.

අවුරුදු තුනක් ඇමරිකන් එඩියුකේෂන් එක්ක ගැවසිලා ප්‍රියංකා ආපහු මව්රට බලා එන්නේ හයිස්කූල් චැප්ට' එකේ අන්තිම හරිය බරේලි වල ආමි පබ්ලික් ස්කූල් එකෙන් ඉවර කරන්න. ප්‍රියංකාට ආසාවක් තිබුණා ඒරොනොටිකල් ඉංජිනිය' කෙනෙක් වෙන්න. ඒකට එයාගේ ආමි බැක්ග්‍රවුන්ඩ් එකත් හේතුවක් වෙන්න ඇති. ඉගෙනගන්න කාලයේදීම බරේලි වල බියුටි පැජන්ට් එකකට අම්මාගේ පෙරැත්ත කිරීම හින්දාම ප්‍රියංකා ඉදිරිපත් වෙනවා. නොහිතපු විදිහට ඒ පැජන්ට් එකෙන් දිනන්නේ ප්‍රියංකා. ගුණ නැණ වගේම රුව පිරි තමන්ගේ දියණියට මීටත් එහා යමක් කරන්න පුළුවන් කියලා තේරුණු ප්‍රියංකාගේ අම්මා මධූ, කාටත් නොකියාම ප්‍රියංකාගේ ෆොටෝස් කිහිපයක් එක්ක සීවී එකක් දානවා 'ෆෙමිනා මිස් ඉන්ඩියා' කන්ටෙස්ට් එකට. YouTube එකට ගියොත් හොයාගන්න පුළුවන් වෙයි මිස් ඉන්ඩියා කන්ටෙස්ට් එකේ ජජ් පැනල් එකේ ඉන්න ශාරුක් අහන ප්‍රශ්නවලට ප්‍රියංකා බොහොම බුද්ධිමත්ව උත්තර දෙන විදිහ පෙන්නන වීඩියෝ එකක්. ඒ අනුව මිස් ඉන්ඩියා කන්ටෙස්ට් එකේ දෙවන ස්ථානය වන 'Miss India World' ටයිට්ල් එක දිනාගන්න ප්‍රියංකා සමත් වෙනවා. ඒ ඔස්සේ මිස් ව'ල්ඩ් තරඟයට ඉන්දියාව නියෝජනය කරන ප්‍රියංකා ලෝකයත් එක්ක තරඟ කරලා අලුත් සහශ්‍රයේ, 2000 අවුරුද්දේ මිස් ව'ල්ඩ් විදිහට කිරුළු පළඳිනවා. ප්‍රියංකා තමයි මිස් ව'ල්ඩ් වුණු පස්වෙනි ඉන්දියන් යුවතිය. ඒ තමයි ප්‍රියංකාගේ ජීවිතයම වෙනත්ම පාත් එකකට හරවපු වර්ණවත් රාත්‍රිය.

අපි සාමාන්‍යයෙන් එදිනෙදා මුණගැහෙන, අපි අඳුරන ලස්සන කාවහරි දැක්කම කියන පොදු දෙයක් තමයි "ඔයා රඟපාන්න ගියා නං හොඳයි" කියන කාරණය. ඉතිං මිස් ව'ල්ඩ් වුණු ඉන්දියන් කෙල්ලට ලෝකයේ දැවැන්තම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් තියෙන තමන්ගේම රටෙන් කතා නොකර හිටියොත් තමා පුදුමේ. ප්‍රියංකාට වුවමනාව තිබ්බේ ඒරොනොටිකල් ඉංජිනිය' කෙනෙක් වෙන්න. හැබැයි බොලිවුඩ් වලින් ඔෆ'ස් එද්දී රිස්ක් එකක් අරගෙන ස්ටඩීස් නවත්තලා ෆිල්ම් සහ මොඩ්ලින් පැත්තට එකතු වුණා. ඒ අනුව ඇඩ්ස් සහ ෆිල්ම්ස් වල රංගනයට එන ප්‍රියංකා අබ්බාස් මුස්තාන් දෙන්නා කරපු 'Humraaz' ෆිල්ම් එකෙන් තමයි බොලිවුඩ් ගමන පටන්ගන්න හිටියේ. හැබැයි ඒක රිලීස් වෙන්න පරක්කු වුණු නිසා 2002 දී කොලිවුඩ් වල යුවරජා විජේ එක්ක 'Thamizhan' ෆිල්ම් එකෙන් තමයි ප්‍රියංකා මුලින්ම රංගනයට පිවිසෙන්නේ. ප්‍රියංකාට ඒකේ කරන්න එච්චරටම ලොකු දෙයක් තිබුණේ නෑ. මුල කාලේ හම්බුණ ෆිල්ම්ස් වලින් ප්‍රියංකාට දෙයක් කරන්න ඉඩ දෙනවාට වඩා සිද්ධ වුණේ ප්‍රියංකාගේ මිස් ව'ල්ඩ් ෆේම් එකෙන් ෆිල්ම් ප්‍රඩියුස'ස්ලා තමන්ගේ ෆිල්ම් එක දුවාගන්න මහන්සි වුණු එක. ඒ නිසාම ප්‍රියංකාත් එහෙම්මම අමතක වෙලා යන ගොඩට එකතු වෙන්න යද්දී වරූන්ගේ තාත්තා ඩේවිඩ් දවාන් ඩිරෙක්ට් කරපු 'Mujhse Shaadi Karogi' ෆිල්ම් එකට ඉන්න ප්‍රියංකාට චාන්ස් එකක් ලැබෙනවා. ආක්ෂේ, සල්මාන් එක්ක ප්‍රියංකා රඟපාපු ඒ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් හිට් එකක් වුණා. සලුවක් උස්සගෙන ප්‍රියංකා ඇක්ට් එකක් දෙන 'ලාල් දුපට්ටා' සිංදුව හිට් එකක් වුණා. මට මතකයි රූපවාහිනි එකෙත් වන්ෂොට් ගාණට ඔය ෆිල්ම් එක පට්ට ගගහ ගෙවෙනකං පෙන්නලා තියෙනවා. ඒ ෆිල්ම් එකෙන් තමා ප්‍රියංකා ඉස්සෙල්ලම හිට් එකක් වෙන්නේ. ඊට පස්සේ රිලීස් වෙනවා අබ්බාස් - මුස්තාන් දෙන්නා ඩිරෙක්ට් කරපු 'Aitraaz' ෆිල්ම් එක. ප්‍රියංකාට වැඩක් පුළුවන් කියලා මුලින්ම ඒත්තු ගැන්වෙන්නේ මේ ෆිල්ම් එකෙන් කිවුවොත් මං හරි. ඒකේ ප්‍රියංකා ආක්ෂේ කරපු රෝල් එකට සෙක්ෂුවල් හරැස්මන්ට් කරන්න හදන, බලයට පුදුමාකාර කෑදර කම්පනි බොස් කෙනෙක් විදිහට කරන නෙගටිව් රෝල් එක ප්‍රියංකාව ලොකු දුරක් ගෙනාවා. වසරේ හොඳම විලන් විදිහට ෆිල්ම්ෆෙයා එකකුත් දින්නා. 

ප්‍රියංකා ඇක්ටිං වලට ඇවිල්ලා මේ වෙනකොට ගත වුණු අවුරුදු 18දී ෆිල්ම්ස් හැටකට වඩා කරලා තියෙන්නේ කෙටි කාලයක් තුළ වේගයෙන් ටාගට්ස් කම්ප්ලීට් කරන්න ඇයට ඇති හැකියාව නිසයි. 'Don', 'Dostana', 'Krrish', 'Fashion' වගේ ෆිල්ම්ස් ප්‍රියංකාගේ රංගනය හැඩ කරන්න සමත් වුණා. 'Barfi!', 'Mary Kom', 'Gunday', 'Bajirao Mastani' ෆිල්ම්ස් ඒ හැඩවුණු රංගනයට වැඩ දාන්න හොඳ එරීනා එකක් හැදුවා. ප'සනලි මම 'Barfi!' එකේ ප්‍රියංකා කරන මන්දමානසික ඇක්ට් එකට ගොඩක් කැමතියි. ඉන්දීය අර්ධද්වීපයට විතරක් ලිමිට් නොවී තමන්ට පොඩි කාලේ කෙනෙහිලිකම් කරපු ඇමෙරිකාවටම ප්‍රියංකා ආයෙත් ගොඩබහිනවා. ඇමරිකන් ටීවි සීරීස් එකක මේන් රෝල් එකක් කරපු මුල්ම සවුත් ඒෂියන් නිළිය විදිහට 'Quantico' එකේ රඟපාලා, විල් අයි ඈම්, පිට්බුල් වගේ මියුසීෂන්ස්ලා එක්ක එකතුවෙලා ගායිකාවක් විදිහට නිර්මාණ එළිදක්වා, හොලිවුඩ් ෆිල්ම්ස් වලටත් රංගනයෙන් දායක වෙලා අන්තිමට ජෝනස් බ්‍රද'ස්ලාගේ නික් ජෝනස් එක්ක යාලු වෙලා ඇමෙරිකාවෙන්ම දීගයකුත් කරගෙනයි ප්‍රියංකා ජීවිතය දින්නේ.

2006 ඉඳලා යුනිසෙෆ් සංවිධානයේ ගුඩ්විල් එම්බැසඩ' කෙනෙක් විදිහට ළමා හා කාන්තා අයිතීන් පිළිබඳ කටයුතු රැසකට ප්‍රියංකා දායකත්වය දෙමින් ඉන්නවා. ඉන්දියානු පුරවැසියෙක්ට ලැබෙන ඉහළම ඇගයීමක් වන පද්ම ශ්‍රී සම්මානයත් ප්‍රියංකාට හිමියි. 'Time' මැගසින් එකෙන් ලෝකයට සුබවාදි බලපෑමක් කළ හැකි ප්‍රබලම චරිත සියයෙන් එකක් විදිහටත්, 'Forbes' මැගසින් එකෙන් ලෝකයේ බලවත්ම කාන්තාවන් සියයෙන් කෙනෙක් විදිහටත් ප්‍රියංකාව රෑන්ක් කරනවා. එදා ප්‍රියංකාට ළමයි විහිළු කළා, අද ප්‍රියංකාගේ කකුල් දෙක විතරක් ලෝකයේ අංක එකේ බ්‍රෑන්ඩ්ස් දොළහක් විකුණන්න යොදාගන්නවා. ඉස්සරහට එන්න තියෙන මේට්‍රික්ස් හතරවෙනි ෆිල්ම් එකෙත් ප්‍රියංකාට රෝල් එකක් තියෙනවා. 

අපි හැමෝටම විවිධාකාර ටැලන්ට්ස් තියෙනවා. නමුත් ඒවායින් බොහොම සීමිත වපසරියක සැරිසරන්නයි ගොඩක් අය පෙළඹෙන්නේ. ගිය සෙනසුරාදා තිබුණු යූත් ෆෝරම් එකකදී මං ප්‍රශ්න කළා ඔය කාරණය, කවද්ද අපි ඔස්කා එකක් ගන්නේ? කවද්ද ඉරාජ්, භාතිය සන්‍තුෂ් බිල්බෝඩ් මියුසික් අවෝඩ්ස් ස්ටේජ් එකකට නඟින්නේ? ඒ ආර් රෙහ්මාන්ට ඔස්කා දෙකක් උස්සලා ආඩම්බරෙන් පෙන්නන්න පුළුවන්. දකුණු කොරියාව දැන් ලෝකයේ එන්ටටේන්මන්ට් පැත්ත ටිකෙන් ටික ආක්‍රමණය කරනවා. ඔස්කා දින්නා. බෝයි බෑන්ඩ්ස් මේනියාවක් ඇවිත්. දැන් ප්‍රියංකාත් ඇමරිකාවේ ප්ලාන්ට් වෙලා. කෝ අපි? ඒක ලොකු ප්‍රශ්නයක්. ෆෝරම් එක ඉවරවුණාට පස්සේ ඉරාජ් එයාගේ අලුත් මියුසික් වැඩ ගැන කතා කළා. වෙනදා වගේ ඉරාජ් ඒවාට ගොඩක් ෆෝකස් කළොත් ලංකාව එළියට ගෙනියන යමක් කරන්න පුළුවන් පොටෙන්ෂල් එක තියෙනවා කියන දේ මට තේරුණා. මේ තියෙන වැටවල් කඩාගෙන අපි යන්න ඕනේ. ප්‍රියංකා කළෙත් ඒක. කඳවුරුගත කොදෙව්වෙන් නවතින්නැතුව එතනින් ඔබ්බේ තියන ටාගට්ස් සපුරාගන්න මහන්සි වුණු නිසයි බොලිවුඩ් වල කිසිම දැවැන්තයෙක්ට තවමත් හරියට කරගන්න බැරිවුණු වෙස්ට'න් ලෝකය ජයගැනීම ප්‍රියංකා ලස්සනට සිද්ධ කළේ.

බීලේටඩ් බ'ත්ඩේ විෂ'ස්, Priyanka Chopra.

- ෂෙනාල් ගුණසේකර -

Recent Stories