Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

 අපි එනතුරු ගෙදර එන්න කියල අද හවස් වරුවෙ අපේ චූටි මාම මට කෝල් කරල කීව. මම ඇහුව පිස්සුද මේ ඇදිරිනීතිය වෙලාවෙ කොළඹ එන්න කියල. නෑ පුතේ අපි මේ සමූපකාරයට බඩු ගන්න ලොරි අරන් වත්තලට එන ගමන් කියල. අපේ අම්මගෙ පොඩිම අයිය, ආන්නද ඉස්කෝලෙ මහත්තය හෙවත් අපේ චූටි මාම තමා වාරියපොල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා. මේ මොහොත වෙනකොට ලංකාවෙ වැඩිම පිරිසකට අඅත්‍යාවශ්‍ය ආහාර මලු ගෙදරටම ගෙනිහින් දීල තියෙන්නෙ සමූපකාර සමිති හරහා. ‘අපි එනතුරු ගෙදර එන්න’ කියන්නෙ ඒ ජාතික වැඩසටහනෙ නම. සමූපෙ තමා ගමට ළගම වව්‍යාපාරය. සමූපෙ පාලනය කරන්නේ ප්‍රාදේශිකයේ චන්දෙන් දිනපු ඒ පලාතේ මිනිස්සු. අද බස්නාහිර පළාතෙත් සමූපකාර සමිති ගෙවල්වලටම ගිහින් බඩු මලු විකුණන්න පටන්ගත්තා. චූටි මාම කීව කලින් ගෙනිච්ච ලොරිවල බඩු පැය කීපයකින් ඉවර වුනා කියල.

චූටි මාම බයිපාස් එකක් කරල ඉන්නෙ. සභාපති වුනාට ඒ මනුස්සයත් ලොරිත් එක්ක කොළඹ එනවා බඩු ගන්න. මට කීව ‘පුතේ මේක ජනාධිපතිතුමා දුන්න රාජකාරිය’ කියල. එකෙක් දෙන්නෙක් අම්බරුවො වගේ හැසිරුනාට පොදුවේ අපේ රටේ මිනිස්සු මෙහෙමයි. රටට, රාජකාරියට සහ තමුන්ගෙ මිනිස්සුන්ට ආදරේයි. ගම ආරක්ෂා කරගන්න වැඩේ සමූපකාරයට දුන්න එක අනර්ඝ තීරණයක්. මම හොයල කියවල බැලුවම මුලු ලෝකෙම සමූපකාර කොරෝනා නිසා වැටුනු මිනිස්සු වෙනුවෙන් බැහැලම වැඩ. ලිබර් ආර්ථිකයෙන් කොච්චර සරුව පිත්තල වෙළද ලෝකයක් ගෙනාවත් කරදරේම වැටිච්ච වෙලාවට ගෙදරටම එන්නෙ සමූපකාරය වගේ මිනිස්සු එකතුවෙලා මිනිස්සු වෙනුවෙන් හදාගත්ත වව්‍යාපාර විතරයි. ඒ නිසා අඩුපාඩු තිබ්බත් කන් කෙදිරි ගාන්නෙ නැතුව ඒ මිනිස්සුන්ට සහයෝගය දෙන්න.

දවස් ගාණකට පස්සෙ අද උදේ පාන්දරම නැගිට්ට නෙත් FM එකට යන්න. ඊයෙ රසිකයි මමයි තීරණයක් ගත්ත ස්ටුඩියෝ එකටම ගිහින් කොරෝනා ගැන අන්තිම සටන වැඩසටහන කරමු කියල. සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණගෙන් මම ඇහුව කොහොමද අපි කොරානා එරෙහි අරගලයේ ඉදිරිපෙළටම තරුණයන් ගේන්නෙ කියල. පොහොට්ටුවේ මහාචාර්ය චරිත හේරත්ගෙන් රසික ඇහුව කොරෝනා අවකාශය ඇතුලෙ මාධ්‍ය මැදිහත්වීම කෙසේ විය යුතුද කියල. වැඩසටහන අවසාන වෙද්දි පත්තර නැතුව පත්තර මල්ලි මැදිරියට ඇවිත් කීව මල්ලි ඕනනම් මගෙන් විනාඩි 5 ක් ගනින් කියල. මම ඒ විනාඩි කීපය භාවිතා කලා ලංකාවෙ සියලුම මාධ්‍ය ආයතන වලට ස්තුති කරන්න ඔවුන් කරන සාධනීය මැදිහත්වීම අගය කරන්න. ඩෙංගු මැඩලන්නත් මාධ්‍ය විශාල කාර්‍යභාරයක් කලා. සියලුම ටීවී රෙඩියෝ චැනල් වල බොහොමයක් මමාධ්‍යවේදීන් මැදිරි වල නැවතිලා උයාගෙන කාල වැඩසටහන් ඇදගෙන යනවා. අච්චු ගහන්න බැරි වුනත් ඩිජිටලි හරි පත්තරේ එනවා. රසිකයි මමයි සිතාරා එක්ක මීටරේක දුරින් හිටියා. වෙනදා වැඩසටහන ඉවර වුනාම උඩ නැගගෙන කට්ටියම ගහන සෙල්ෆියත් ගහන්න බැරිවුනා.

කොළඹ නගරසභාව පාට පක්ෂ බේදයක් නැතුව සෑම කොට්ඨාසයකම ඉන්න දුප්පත්ම පවුල් 400කට බැගින් අඅත්‍යාවශ්‍ය භාණ්ඩ පාර්සල් 20000ක් පමණ බෙදන්නයි යන්නේ. මාවත්තෙ විජිත හාමුදුරුවෝ උන්නාන්න්සෙගේ පන්සලට එහාපැත්තෙ තියන වත්තෙ පවුල් 500කට පන්සලේ උයල දෙනව මේ දවස්වල. මගෙන් ඇහුව වත්තට මොකක්ද කරන්න පුලුවන් කියල. මම පොරොන්දු වුනා යම් සහයක් හොයල දෙන්න. බස්නාහිර පළාත් බිහිරි සංගමයත් සාමාජික පවුල් 20 කර සහය ඉල්ලල තිබ්බ. ඒකටනම් මිතුරන් පිරිසක් සහය දෙන්න එකග වුනා.

PickMe අද සතොස එක්ක එකතුවෙලා මලු 500ක් පමණ බෙදල තිබ්බ. මෙවන් කතා කරල කීව තව ඕන තරම් බඩු බෙදන්න අවශ්‍ය හැකියාව ඔවුන් සතුව තිබෙනවා කියල. බැසිල් රාජපක්ෂ මහත්තයා අද වැඩ පටන්ගත්ත. හෙට ඉදන්ම සමහර සුපර් මාකට් බඩු ඩිලිවර් කරාවි. උදාහරණයක් විදියට ලාෆ් රාජගිරිය හෙට ඉදන්ම බඩු ඩිලිවර් කරන්න අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරමින් ඉන්නව. පොඩි ව්‍යාපාර වලටත් ඒ ඉඩ කඩ ලබාදීල තියනවා. උදාහරණයක් විදියට Good Market එකත් සිකුරාදා ඉදන් ඩිලිවර් කරනවා. අද Bread Talk එකට අවසර ලැබුණා නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු වලට. මම දැක්ක Sensaal එක දැනටමත් ඩිලිවර් කරන විත්තිය ඇඩ් කරල තියනවා.

ඒ අස්සේ Kapruka විශාල දෝෂදර්ශනයකට ලක්වුනා වැඩි මිලට බඩු විකුණනවා කියල. මම දුලිත්ට කෝල් එකක් දුන්න මේ ගැන අහන්න. ඔහු තමා ඔන්ලයින් මාකට් එක ලංකාවෙ හදපු එකා. අද දක්ෂම තරුණ ව්‍යවසායකයෙක්. දුලිත් කීව සැමන් වලින් හම්බකරන්න ඕන නෑ මචන් කිසිම දෙයක් ඔය කියන විදියට වැඩි මිලට විකිණුවෙ නෑ කියල.මේ මුලු ඇටෑක් එකම විරුද්ධවාදීන් සංවිධානාත්මකව කරන එකක් කියලත් කීව. හැබැයි රෑ වෙද්දි පාරිභෝගික සේවා අධිකාරිය Kapruka වට කරල එතන වුන බහින්බස් වීම වීඩියෝ එකක් විදියට රිලීස් කරලත් තිබ්බ. මම තව තැන් කීපයක දැක්ක Lassana Flora ඩිලිවර් කරන එළවලු කියල නරක් වුන එළවලු වල චායාරූප ෆේස්බුක් එකේ දාල තියනවා. මම හෙට එහි හිමිකරු දොස්තර ලසන්ත මලවිගේව සම්බන්ධ කරගන්න ඔන කියල හිතුව.

ඇමරිකාව ඩොලර් ට්‍රිලියන 2ක් ආර්ථිකයට මුදාහරින්න තීරණය කලා. එය ඉතිහාසගත රාජ්‍ය මැදිහත්වීමක්. ඒකත් එක්කම ට්‍රම්ප් ආයෙත් ජනාධිපති වීම වලක්වන්න බැරිවෙනවා එක්කම ඇමරිකානු ආර්ථිකයත් වේගයෙන් හිස ඔසවනවා. 1933න් පස්සේ අද තමා DOW මාකට් එක වේගයෙන්ම හිස එසෙව්වෙ. නමුත් ලෝක ආර්ථිකයම දණ ගැස්සිලා තියෙන්නෙ. චාල්ස් කුමාරයටත් කොරෝනා කියල අද නිවේදන කලා. රජෙක් වුනත් ලෙඩෙක් වුනොත් බඩුම තමා. ඉන්දියාවේ ලොක් ඩවුන් එකත් එක්ක එහෙ ඉගෙන ගන්න ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ සිය ගණනක් හොස්ටල් ඇතුලෙ හිරවුනා. අද අපි ඒ ගැන ලංකාවෙ තියන ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාලයටත් දැන්වුනා.

ලංකාවෙ අද එක කොරෝනා රෝගියෙක්වත් වාර්තා වුනේ නෑ. චීනය එක ලෙඩෙක්වත් වාර්තා නුවන පස්වෙනි දවස. අපි එක ලෙඩෙක්වත් වාර්තා නොවී දවස් 14 ක්වත් ඇදගෙන යන්න ඕන. දැන් දෙන්නෙක් හොදවෙලා ගෙදර ගියා. GMOA එක කියන විදියට 550 ක් ආසාධිතයන් මේ වෙනෙකොට එළියෙ සමාජයේ ගැවසෙනවා කියල. මගේ අදහසනම් මේ ඇදිරිනීතිය තව සති දෙකක්වත් පවත්වාගෙන යන්න ඕන. රටම එක අරමුණක් වෙනුවෙන් ඉවසන්න ඕන. මේක මරණයද ගෙදරද වගේ ප්‍රශ්නයක්.

තිරාජ් පිටි බෙදන්න යන ගමන් උණු උණු මාලු පාන් දෙකක් දුන්න. මට ඌව පෙනුනෙ ගම්භාර දෙයියො වගේ. කැළණිය කැම්පස් එකේ අචාර්ය අරුණ ලොකුලියන කතාකරල හොද යෝජනා කීපයක් කලා බඩු බෙදන එක ගැන. තවත් ගොඩක් අය WhatsApp සහ ඊමේල් වලින් යෝජනා එවලා තිබ්බා. මම ඒ හැමෝටම පොරොන්දු වුනා යෝජනා ටික බැසිල් රාජපක්ෂ මහත්තයාට යවමු කියල.

මාලකයගෙ තාත්ත නැතිවුනා අද. උට ඕස්ට්‍රේලියාවෙ ඉදන් එන්න විදියක් නෑ. උගෙ ගෙදර තියෙන්නෙ හරියටම අපේ ඉස්කෝලෙ ඉස්සරහ. ඒ ගෙදරින් කාපු නැති එකෙක් නැති තරම්. අද අපි සේරම අසරණ වුනා. හැබැයි පොලීසිය කර්ෆිව් පාසස් දුන්නා අවශ්‍ය කටයුතු වලට.

මම අද චායාරූපයට තෝරාගත්තේ උදේ යද්දි හම්බවුන කොළඹ කුණු අදින කණ්ඩායම. ගාලු පාරෙ හිටියෙ එයාල විතරයි. මේක විසාලා මහනුවරක් නොවන්නේ ඔවුන් නිසා. මම කාර් එක නැවැත්තුවම සෙට් එක මූණ කවර් කරගත්තා. මම සුපුරුදු ටෝන් එකෙන්ම කීව ‘යකෝ මූණ වගහන්න ඕන අපිට පේන්න නෙමෙයි රටේම එවුන්ගෙ කුණු අස්සෙ කොරෝනා තියෙන්න පුලුවන් නිසා’ කියල.

අද මම මුලු ලෝකෙම ප්‍රධාන නගරවල වායු ගුණාත්මකභාවය චෙක් කලා. මේ තරම් හොද පිරිසිදු වාතයක් අපි නොදන්න ඉතිහාසයේ තිබිලම නැති තරම්. එලියට බැහැල නිදහසේ හුස්ම ගන්න කියාපු දවස්. හැබැයි නහය වහන්නෙ නැතුව එළියට බහින්න එපා කියන එක තමා උපදෙස. අහෝ!!!




Recent Stories