Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ගත වුණු පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 800 ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වීම ලෝකයම කම්පා කරවන පුවතක් වූ බව නොරහසක්.

චීනයට පසු නව කොරෝනා වෛරසය නිසා ලොව වැඩි වශයෙන්ම ආපදාවට ලක්ව සිටින්නේ ඉතාලිය යි. රෝගය පැතිර යාම වළක්වා ගැනීමට පවා මේ වන විට ඉතාලිය අපොහොසත්ව තිබෙනවා. දිනෙන් දින ඉහළ යන මරණ සංඛ්‍යාව හමුවේ ඉතාලි ජනතාව දැඩි මානසික පීඩාවන් වලට ද ලක්ව ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ සියලු අවදානම් තත්ත්වයන් නොතකා, ඉතාලියට සහයවන්නට කියුබානු ජනතාව සිය මිත්‍රත්වයේ දෑත් දිගු කිරීම මනුෂ්‍යත්වයේ හැරවුම් ලක්ෂයක්.

කියුබාව නමැති කැරිබියානු දූපත සිය සුදු ලෝගු හමුදාව මිනිසා වෙනුවෙන් සේවය කරන්නට යොදා ගත් පළමු අවස්ථාව මෙය නොවෙයි. 1959 විප්ලවයේ සිට ලොව නන් දෙසින් වූ දුප්පත් රාජ්‍යයන්ට සිය වෛද්‍ය සේවය ලබා දීමට ඔවුන් කැප වී සිටියා. මීට වසර 10 කට පමණ පෙර හයිටියේ කොළරාවට එරෙහි සටනේ දී සහ බටහිටර අප්‍රිකාවේ එබෝලා වසංගතයට එරෙහි සටනේ පෙරමුණ ගත්තේ ද කියුබානු සුදු ලෝගු හමුදාවයි.

කියුබාව, ලෝකයේ ධනවත්ම රටක් වන ඉතාලියට 52 දෙදෙනකුගෙන් යුත් ශක්තිමත් වෛද්‍ය බලකායක් යැවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

කොරෝනා වසංගතය හා සටන් කිරීමට කියුබාව විදෙස් රාජ්‍යයන් වෙත යැවූ සිය 6 වැනි වෛද්‍ය බලකාය මෙයයි. ඒ අනුව කියුබාව, සිය සමාජවාදී මිත්‍ර පාක්ෂිකයන් වන වෙනිසියුලාව සහ නිකරගුවාව මෙන්ම ජැමෙයිකාව, සුරිනාම් සහ ග්‍රෙනාඩා වෙතත් සිය සුදු ලෝගු හමුදාවන් යවා තිබෙනවා.

"අපි හැමෝම බියයි, නමුත් අපිට විප්ලවීය රාජකාරියක් තිබෙනවා ඉටු කරන්නට. ඒ නිසා අපි බිය පසෙකට දමනවා." යනුවෙන් එම වෛද්‍ය කණ්ඩායමේ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍ය 68 හැවිරිදි ලියනාඩෝ ෆර්ඩිනෑන්ඩස් මාධ්‍ය වෙත සිය අදහස් පළ කර තිබුණා.

"තමා නිර්භය බව පවසන්නා සුපිරි වීරයෙක්. නමුත් අපි සුපිරි වීරයන් නොවෙයි. අපි විප්ලවවාදී වෛද්‍යවරු." ෆර්ඩිනෑන්ඩස් වැඩි දුරටත් කියා සිටියා.

''සහයෝගීතාවයේ ප්‍රතිපත්තිය මත පදනම්ව අපි ගෞරවනීය කාර්යයක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා." 64 හැවිරිදි කියුබානු වෛද්‍ය ග්‍රැසිලියානෝ ඩියාස් පැවසුවා.

ඒ අනුව, කොරෝනා වෛරසයෙන් දැඩි හානියක් වාර්තා වුණු ඉතාලියේ ලම්බෝර්ඩි වෙත කියුබානු සුදු ලෝගු හමුදාව සිය ක්‍රියාන්විතය සඳහා යනු ඇති.

අදහස් - tharaka samman

Recent Stories