Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් නීතිගත මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලෙස කොටස් දෙකක් තිබේ.

දුම්වැටි, බියර්, අරක්කු වැනි මද්‍යසාර නීතිගත මත්ද්‍රව්‍ය ලෙස සැලකේ.

කසිප්පු, ගංජා, හෙරෝයින්, විවිධ මත් පෙති වැනි මත්ද්‍රව්‍ය නීති විරෝධී මත්ද්‍රව්‍ය වේ.

මේ මත්ද්‍රව්‍ය ලේඛනය සැලකීමේදී මිනිසාට වැඩිම හානිකර දුම්වැටියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා අනුව වාර්ෂිකව ලංකාවේ දුම්වැටි නිසා මරණ 15,000-20,000ක් පමණ වේ.

මද්‍යසාර හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව 10,000-15,000 අතර ප්‍රමාණයකි. එයට සාපේක්ෂව හෙ‍රෝයින් සහ ගංජා මරණ සිදු වන්නේ ඉතා අවම වශයෙනි. එහෙයින් හෙරෝයින්, ගංජා වලින් සිදුවන හානියක් නැති යැයි අදහස් නොකළ යුතුය.

සිගරට් දුමාරයේ හානිකර රසායනික ද්‍රව්‍ය 4000ක් පමණ තිබේ. එයින් රසායනික ද්‍රව්‍ය 30ක්ම පිළිකාකාරක වේ. අනෙක් මත්ද්‍රව්‍ය වල හානිකර රසායනික ද්‍රව්‍ය ලෙස ඇතුළත් වන්නේ එකක් හෝ දෙකක් වැනි අඩු ප්‍රමාණයකි.

මත්ද්‍රව්‍යවල තිබෙන ගැටලුව මරණය පමණක් නොවේ. හෘදධාබාධ, අක්මාවල නහරවල ලේ ගමනය අඩාළ වීම, පෙණහලු පිළිකා, සිරෝසිස්, ඇදුම, හතිය, ස්නායු ආබාධ, ලිංගික බෙලහීනතාව වැනි රෝග රැසකට මාර්ගය එමඟින් විවෘත වේ.

මේ වන විට වෙළෙඳපොළට තවත් අමතර මත්ද්‍රව්‍ය රැසක් පැමිණ තිබේ. පෙති වර්ග එහි දී ප්‍රධාන ය. සතුට රැගෙන එන රසායන ද්‍රව්‍ය ඒවායේ තිබෙන බව සමහරු විශ්වාස කරති. එහෙත් එවැනි තත්ත්වයක් නැති අතර නිදිමත ගතිය ඇති කරන රසායනික ද්‍රව්‍ය ඒවායේ අන්තර්ගතව තිබේ. බොහෝ දෙනා එය වැරැදියට අවබෝධ කරගෙන තිබේ. ඒ අනුව නිද්‍රාශීලීත්වය සැපයක් ලෙස ඔවුහු සලකති.

මේ කියන මත්ද්‍රව්‍ය පිළිබඳ සැලකීමේදී සුවිශේෂ කාරණයක් තිබේ. එනම් කිසිම මත්ද්‍රව්‍යයක මිනිසාට සතුට, සුවයක් ඇති කිරීමට ඇති නොහැකියාවයි. සතුට ඇති කිරීමට මත්ද්‍රව්‍යවලට හැකියාවක් පවතින බව කිසිම වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකින් ද තහවුරු වී නැත. මේ අති බහුතරයක් මත්ද්‍රව්‍යවලින් ස්නායු අවපීඩනයක් ඇති කිරීමක් සිදුවේ. මත්ද්‍රව්‍ය භාවිත කළ පිරිස්වල දෙනෙත් අඩවන් වී ඇත්තේ මේ නිසාය. මොළය නිදිකරවන, ස්නායු පද්ධතිය අඩපණ කරවන දෙයකින් සතුට ලබා ගැනිමේ හැකියාවක් කිසිසේත්ම නැති බව මෙහිදී කිව යුතුය

එසේ නම් මත්ද්‍රව්‍යවලට පෙලඹීමක් ඇති වන්නේ ඇයි යන්න අප විමසා බැලිය යුතුය. ඒ පෙලඹීම කෙරෙහි බලපා ඇත්තේ මේ සඳහා සමාජයේ නිර්මාණය කෙරී ඇති විවිධ අදහස් ය. සතුටට හේතුවේ. මොළය උත්තේජනය කෙරේ. ප්‍රශ්න අමතක කළ හැකිය. ලිංගික ශක්තිය උද්දීපනය කෙරෙයි. ශරීර ශක්තිය වැඩිවේ. වැනි මතවාද සමාජයේ ඇති කිරීමෙන් ඒ සඳහා පෙලඹීමක් ඇති කර තිබේ. මේ රැවටීම නිසා බොහෝ පිරිස් මත්ද්‍රව්‍යවලට යොමු වී තිබේ.


Recent Stories