Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

“ජාතික ගීතය තේරීමේ තරගයේ දී මම සිතාරය වාදනය කළා. ඒත් සිතාරය වාදනය කරපු මාව කාටවත් පෙණුනේ නැතුව ඇති. ඒ තරමට මම පුංචියි. හැමෝටම සිතාරය විතරයි පෙනිලා තියෙන්නේ.”‍

විසිවන සියවසේ මුල් භාගය ශ්‍රී ලංකාව තුළ ජාතිකාභිමානී සිතුවිලි දැඩිව ඉස්මතු වුණු යුගයක් ලෙස විචාරක අවධානයට ලක්ව තිබිණි. එකල බිහිවුණු සාහිත්‍ය, සංස්කෘතිකමය නිර්මාණ ඒ සඳහා සාක්ෂි දරයි.

මේ කාලය තුළ දී ජාතික ගීතයක අවශ්‍යතාව මතුව තිබිණි.

එය නිර්මාණය කිරීම සඳහා රජයේ මැදිහත්වීමෙන් 1947 දී දීප ව්‍යාප්ත තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එක්දහස් නවසිය හතළිස් නවයේ දී කොළඹ පවත්වා ඇති මෙම තරගය සඳහා සංගීතඥයන් කිහිපදෙනකු ගීත ඉදිරිපත් කොට ඇත. එම තරගය සඳහා ඉදිරිපත් වූ සංගීතඥයන් වර්තමානය වනවිට ජීවතුන් අතර නැත. එහෙත්, ජාතියේ වාසනාවට ජාතික ගීයේ යටගියාව පිළිබඳව පුළුල් විග්‍රහයක් කළ හැකි උදාර පුද්ගලයකු අපේ රටේ තවමත් ජීවත් වෙයි. ඔහු එදා මෙම තරගය සඳහා ඉදිරිපත් කළ එක් ගීතයක වාදක මණ්ඩලයේ වාදකයකු ලෙස ඉදිරිපත් වුණු අයෙකි. ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ සංගීත් නිපුන් ජයන්ත අරවින්දයන්ය.

මෙරට සංගීත ක්‍ෂේත්‍රය දියුණු කිරීමෙහිලා විශාල දායකත්වයක් සිදුකළ සංගීතඥයකු, භාෂා විශාරදයකු හා වියත් පඬිවරයකු වූ වින්ස්ටන් සෝමපාල මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවෝ ජයන්ත අරවින්ද නම් විය. වින්සන්ට් සෝමපාල මහතා ජාතික ගීය නිර්මාණය කිරීමට දක්වන ලද දායකත්වය පිළිබඳවත්, ජාතික ගීයක් මෙරට නිර්මාණය වුණු ආකාරයත් අප සමග මෙලෙස කීවේය.

“ජාතික ගීය තේරීමේ තරගයක් 1947 වසරේදී තිබුණා. මට මතකයි වයස අවුරුදු දහයක් දොළහක් විතර වයසේ දී මමත් ඒ තරගයට සහභාගී වුණු සාමාජිකයෙක් විදිහට සතුටට පත්වෙනවා. ඒ කාලේ මම තමයි එම තරගාවලියට සම්බන්ධ වුණු වයසින් බාලම ශිල්පියා. දැන් මට වයස අසූ දෙකක් වෙනවා. අපි ඒ වෙනකොට පදිංචි වෙලා හිටියේ පිළියන්දල. මේ තරගය පැවැතියේ කොළඹ.

ඒ කාලෙදීයි ජාතික ගීය සඳහා තරගය පැවැතුණේ. මගේ පියා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත විෂයය උගන්වන ගුරුවරයා ලෙසට කටයුතු කළා. සංගීත විෂයය පාසල්වල ඉගැන්වීම ආරම්භ වුණේ 1945 දී. සංගීත විෂයය ඉගැන්වීම ආරම්භ කළ ඒ මුල්ම කාලයේ සිටම මගේ පියා හිටියේ ඒ ඉස්කෝලේමයි. ඒ කාලේ මම ඉගෙන ගත්තෙත් ඒ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉතින් මේ තරගය සඳහා විද්‍යාලයේ ඉගෙන ගන්නා දක්ෂ සිසුන් දහදෙනකුට (10) තාත්තා ගීතයක් පුරුදු කළා. මම ඒ ගීතයට වාදනයෙන් එක් වුණා. අන්න ඒ විදියටයි මම ජාතික ගීය සඳහා දායකත්වය ලබා දුන්නේ. මට හොඳට මතකයි මම එදා සිතාරය වාදනය කළා. ඒත් සිතාරය වාදනය කරපු මාව කාටවත් පෙණුනෙ නැතුව ඇති. ඒ තරමට මම පුංචියි. හැමෝටම සිතාරය විතරයි පෙනිලා තියෙන්නේ. එදා කණ්ඩායම් හයක් විතර තරගයට ඇවිත් හිටියා.

පී.බී. ඉලන්ගසිංහ කියලා හොඳ සංගීතඥයෙක් හිටියා. ඔහුත් මේ තරගයට ගීතයක් ඉදිරිපත් කළා. ඔහු නොතාරිස් රාළහාමි කෙනෙක්. ඔහු ලියූ ගී පදවලට සංගීතය සැපැයීම කළේ ලයනල් එදිරිසිංහ සංගීතඥයා. තරගය විනිශ්චය කරන්න විනිසුරුවරුන් අටදෙනෙක් හිටියා. එයින් පස්දෙනෙක්ම ඉලන්ගසිංහ සංගීතඥයාගේ ගීතයට කැමැත්ත පළ කළා. ඒ ගීතය “ශ්‍රී ලංකා මාතා - පාලා යස මහිමා ජය ජය...”‍ යනුවෙන් තමයි තිබුණේ. ඒ ගීතය පළවෙනි වතාවට 1948 පෙබරවාරි 4 වැනිදා නිදහස් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ ප්‍රචාරය වුණා.

අපේ තාත්තාගේ ගීතයට කැමැත්ත පළ කළේ තුන්දෙනෙක් විතරයි. ඒකට හේතුව, මොකක්ද කියන්න දන්නෙ නැහැ. නමුත් අපේ තාත්තා ලියන දේවල් ඉතාමත් සංකීර්ණයි. ඔහු හොඳ භාෂා විශාරදයෙක්. ශාස්ත්‍රීය මට්ටමේ රචනාවන් තමයි එතුමා ළඟ තිබුණේ. මගේ තාත්තා ඉදිරිපත් කළ ගීතයේ පද රචනය, තනු නිර්මාණය තාත්තා විසින්මයි කළේ. මම හිතනවා තාත්තගේ පද රචනාවල තිබුණු සංකීර්ණ වචන ඊට බලපාන්න ඇති. කොහොම නමුත් එදා තරගයෙන් තේරුණේ ඉලන්ගසිංහ මහතාගේ ගීතය. එහෙත් එම ගීතය ජාතික ගීතය වශයෙන් පිළිගැනුණෙ පළමු නිදහස් දා විතරයි. කාලයක දී භාවිත කළේ අද භාවිත කරන ආනන්ද සමරකෝන් සංගීතඥයාගේ ජාතිකාභිමානී ගීතය. තරගය පවතින කාලය වෙද්දී ආනන්ද සමරකෝන් මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ දරුවන් සමග ජාතිකාභිමානී ගීතයක් ගායනා කළා. එය තරමක් ප්‍රසිද්ධියට පත්වෙලයි තිබුණේ. ඒ ගීතය ලියැවිලා තියෙන්නේ 1940 දී පමණ.

”“නමෝ නමෝ මාතා”‍ යනුවෙන් තමයි ඒ ගීතය ලියලා තිබුණෙ. ඔය අතරෙ දී ආනන්ද සමරකෝන් මහතා ඉදිරිපත් කළ “නමෝ නමෝ මාතා”‍ ගීතයේ තිබෙන අඩුපාඩු බොහෝදෙනකු විවේචනයට ලක් කළා. මගේ තාත්තත් ඔය අඩුපාඩු කතා කළ අයෙක්. එතුමා හොඳ භාෂා විශාරදයෙක් නිසා මේ ගීතයේ “නමෝ”‍ යන වචනයේ සිටම තිබෙන අඩුපාඩු කතා කළා.

“නමෝ”‍ කියලා කියන්නේ පාලි වචනයක්. ඇයි “නමෝ.. නමෝ..”‍ දෙකක්. එය තුනක් විය යුතුයි. ඊට පස්සේ නමෝ නමෝ හතරක් වුණා.

ඒ ගීතයෙ ගණ පිහිටුවීම, මාත්‍රා පිහිටුවීම ආදී ඒවාහි දුර්වලතා පිළිබඳව තාත්තා කතා කළා. පත්තරවලට ලිව්වා. ඒ දිනවල දිනමිණ පත්‍රයේ තාත්තා ලියූ ලිපි පළ වුණා. තවත් අය මේ ගීතයේ අඩුපාඩු කතා කළා. ඔය කාලෙ දී ජනතාව අතර මතයක් තිබුණා ජාතික ගීයෙහි ගණ පිහිටුවීමෙහි තිබෙන දුර්වලතා ඒ නිර්මාණය කළ ශිල්පියාට යහපතක් නොවන බවට. ඒ වගේම වෑත්තෑවේ හිමියන් අකාලයේ අපවත් වූයේ උන්වහන්සේ විසින් රචනා කරනු ලැබූ “සිය පින් සිරින් සරු

දෙතිස් ලකුණින් විසි තුරු”‍ යන කවියෙහි ගණ පිහිටුවීමෙහි වරදක් නිසා බවටත් ජනතාව අතර මතයක් පැවැතුණා. නමුත් මම ඒ අභිමතය පිළිගන්නේ නෑ. ගණ පිහිටුවීමකින් කෙනකුගේ ජීවිතය විනාශ වන බව කොහොම ද පිළිගන්නේ. එහෙම නම් අද එළිදකින “හරසුන් ගීත”‍ කොච්චර තියෙනවා ද? ඒවා නිර්මාණය කරන බොහෝ දෙනෙක් මිය යන්න එපැයි.

කොහොම වුණත්, ආනන්ද සමරකෝන් මහත්මයා මිය ගියේ අකාලයේ තමයි. ඒත්, එයට වෙනත් හේතුත් තිබුණා.

වින්ස්ටන් සෝමපාල නම් වූ මගේ තාත්තා සිංහල භාෂාව ඉතාමත් හොඳින් ප්‍රගුණ කළ අයෙක්. ඒ වගේම පාලි, සංස්කෘත පිළිබඳවත් හොඳ පුළුල් ඥානයක් තිබුණා. කුමාරතුංග මුනිදාස මහත්තයා ඇසුරු කරමින් සිංහල භාෂාව මැනවින් ඉගෙන ගත්තා. ඒ වගේම රාගධාරී සංගීතය උගන්වද්දී ඊට යොදාගත් හින්දි වචන වෙනුවට සිංහල වචන යොදන්නට කටයුතු කළා. සංගීතඥයෙක් ලෙස උපදේශාත්මක ගීත රාශියක් නිර්මාණය කර තිබෙනවා. සංගීත විෂයය සම්බන්ධ පොත්පත් රාශියක් රචනා කළා. භාවිත ගීත, තාල ගීත, ගීත කලා නිධි, දස තාල ලක්ෂණ, ගීත විද්‍යා, පසල් ගී, තාල ඥාන, ජාති නාම විනිශ්චය වැනි පොත් ලිව්වා. කුමාරතුංග මුනිදාස සමග හෙළ මීයැසි ග්‍රන්ථයට දායක වුණා. මේ වගේ පර් යේෂණ ග්‍රන්ථ ගණනාවක් එතුමා අතින් රචනා වුණා. ඒ නිසාම එතුමාට විශාරද උපාධිය හිමි වුණා. ශ්‍රී ලංකාවේ “විශාරද උපාධිය”‍ හිමි ප්‍රථම සහ එකම සංගීතඥයා වෙන්නේ වින්ස්ටන් සෝමපාල නම් වූ මගේ තාත්තා.

මට මතකයි ඒ කාලේ තාත්තා ස්වදේශ මිත්‍රයා, ලක්මිණි පහන, ලක්වැසියා, ලක්මිණි යන පුවත්පත්වල කර්තෘ මණ්ඩලවල සේවය කළා. මේ නිසා තාත්තා ගොඩක් ප්‍රසිද්ධියට පත්වෙලා හිටියා. මගේ තාත්තා 1945 ගාන්ධර්ව අවසාන විභාගයට ඉදිරිපත්ව රන් සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයා බවට පත්වුණා. ගාන්ධර්ව විභාගයෙන් රන් සම්මාන ගත්ත පළමු ශ්‍රී ලාංකිකයා මගේ තාත්තා. මෙවැනි තත්ත්වයක් තුළ එක දවසක් අපූරු සිද්ධියකට තාත්තා මුහුණ දුන්නා.

එක දවසක් තාත්තාට ටෙලිග්‍රෑම් එකක් ආවා. ඒ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන්. මට මතකයි “වහාම පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඒ ටෙලිග්‍රෑම් එකේ තිබුණා.” ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එවා තිබුණු ඒ ටෙලිග්‍රෑම් එක නිසා එදා තාත්තා ටිකක් කලබල වෙලයි හිටියේ. ඔහු ගේ ඇතුළේ එහෙට යනවා, මෙහෙට යනවා. තාත්තා කල්පනා කළේ ඇයි මට පාර්ලිමේන්තුවට එන්න කීවේ කියලයි.

කොහොම හරි තාත්තා එදා කියල තිබ්බ විදිහටම පාර්ලිමේන්තුවට ගියා. ඊට පස්සේ ආනන්ද සමරකෝන් මහතා විසින් නිර්මාණය කළ ඒ වනවිට භාවිත කළ ජාතික ගීතය (ජාතිකාභිමානී ගීතය) පිළිබඳව සාකච්ඡාවක් තාත්තා සමග තිබිලා තියෙනවා. එතුමාගෙ “නමෝ නමෝ මාතා ගීතය”‍ පිළිබඳව තිබුණු ගණ පිහිටුවීමේ දෝෂ පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක නිරත වුණු බවයි තාත්තා කීවේ.

ඊට පසුව ආනන්ද සමරකෝන් මහත්තයා රචනා කළ “නමෝ නමෝ මාතා”‍ ගීතයට

“ශ්‍රී ලංකා මාතා - අප ශ්‍රී ලංකා -

නමෝ නමෝ නමෝ නමෝ මාතා”‍ ලෙස එක් වුණා. තාත්තා නිර්මාණය කළ ගීතයේ “ශ්‍රී ලංකා මාතා”‍ යන කොටස් ඊට එකතු කරලා තිබුණා. තාත්තා නිර්මාණය කළ ගීතයේ ඒ කොටස් සඳහන් වෙලා තිබුණේ මෙහෙමයි.

“නමදිමු ශ්‍රී ලංකා මාතා සැපතැ නොව හිමි යසතැයි විහිගුම ගුණැති පිරි මනරම්...”‍

එදා මේ ගීතයේ “ශ්‍රී ලංකා මාතා”‍ යන කොටස වර්තමානයේ භාවිත කරන ජාතික ගීයේ ආරම්භයට යොදා ගත්තා.

සංගීතයේ දී නීතියක් තියෙනවා මාත්‍රා සමාන විය යුතුයි කියලා. එක්කෝ මාත්‍රා දෙකෙන් දෙකට, නැත්නම් තුනෙන් තුනට, දෙක තුන-දෙක තුන, ඔය ආදී වශයෙන් තමයි මාත්‍රා යෙදෙන්නේ. නමුත් අපේ ජාතික ගීයේ එහෙම යෙදිලා නැති තැන් තියෙනවා. මුල් කොටසේ මාත්‍රා හතරකට වැඩියි.

“නමෝ නමෝ නමෝ නමෝ මාතා”‍ ලෙස මාත්‍රා අතික්‍රමණය වී තිබෙනවා. එයට අපි හුරු වී තිබෙන නිසා එහි වරදක් අපිට පෙනෙන්නේ නැහැ. නමුත් පසුගිය 2019 අවුරුද්දේ ජනවාරි මාසයේ දී ඉන්දියාවට නිදහස ලැබිලා වසර 70ක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ඉන්දියානු සංගීතඥයෝ කිහිපදෙනෙක් සහභාගී වුණා. එහිදී ඉන්දියානු ජාතික ගීතය මෙන්ම අපේ ජාතික ගීතය ද වාදනය කළා. අපේ රටේ හිටපු රාජ්‍ය නායකයන් මෙන්ම ප්‍රභූන් පිරිසක් මෙම උත්සවයට සහභාගී වුණා. මමත් ඒ උත්සවයට සම්බන්ධ වුණා. එහිදී ඉන්දියානු සංගීතඥයන් විසින් අපේ රටේ ජාතික ගීතය තුළ තිබුණු අඩුපාඩුවක් වූ “මාත්‍රා අතික්‍රමණය”‍ ඉවත් කරලයි වාදනය කළේ. එදා එය අහගෙන හිටපු මට ඉතාමත් හොඳින් ඒ වෙනස තේරුණා. කොහොම වුණත් දැන් අපේ රටේ භාවිත වෙන්නේ, “මාත්‍රා අතික්‍රමණය”‍ වූ දෝෂයක් සහිත ජාතික ගීයක් තමයි. නමුත් මෙම ගීතයේ පද රචනය ඉතාමත් අලංකාරයි. සංගීතයත් ඉතාමත් අලංකාරයි. හරිම අර්ථාන්විතයි. හරිම සරලයි. එහි කිසිම අඩුපාඩුවක් නැහැ මාත්‍රා අතික්‍රමණය හැර. පසු කාලයේ ජාතික ගීතය දමිළ භාෂාවෙනුත් ගායනා කළා.

මගේ තාත්තා තවදුරටත් සංගීතය අධ්‍යයනය කරමින්, අනාගත පරපුරට එය දායාද කළා. එතැන් සිට මේ දක්වා මා එය රැගෙන ආවා. මගෙන් පස්සේ මගේ දෙවැනි පුතා, “වරදත්ත අරවින්ද”‍ සංගීත ක්‍ෂේත්‍රයේ නියැළිලා ඉන්නවා. ඔහු, මාධ්‍යවේදියෙක් සහ ගායකයෙක් ලෙස කටයුතු කරනවා. නමුත් ඔහු රාගධාරී සංගීතය නෙවෙයි භාවිත කරන්නේ. ඒ වෙනුවට සරල සංගීතය තුළින් ප්‍රේක්‍ෂකයා අතරට යන්නට ඔහු සමත් වෙලා ඉන්නවා. රාගධාරී සංගීතයෙහි වටිනාකම අද ශ්‍රාවකයෝ හඳුනන්නේ නැහැ. ඒ නිසයි ජාතික ගීතය පිළිබඳව කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අනාගතය වෙනුවෙන්, අපේ ඊළඟ පරම්පරාවට, සරල සංගීතය තෝරා ගැනීමට සිදුවී තිබෙනවා.

1958 දී මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී සරච්චන්ද්‍ර මහත්තයා රත්නාවලී නාට්‍යය කළා. ඒ සඳහා සංගීතය සපයන්න මට කීවා. මේ නාට්‍යයේ රඟපෑවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. ජේ.බී. දිසානායක, විමල් දිසානායක, සෝමලතා සුබසිංහ, සයිමන් නවගත්තේගම, සරත් අමුණුගම වගේ අය අපි එක්ක හිටියා. රත්නාවලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ සරත් අමුණුගම මහත්තයා. දැනුත් ඒ මහත්තයාට ඒ නාට්‍ය ගීත හොඳට මතකයි.

අපේ පරම්පරාවේ නාඩගම් සඳහා සංගීතය සපයල තියෙන්නෙ මගෙ සීයා. සීයගෙ නම මරතේලිස්. මගේ පියා උප්පත්තිය ලැබුවේ 1906 මැයි මාසයේ 19 වැනිදා. එතුමා බහුශ්‍රැත පඬිවරයකු, අග්‍රගණ්‍ය සංගීතඥයකු, සාහිත්‍යධරයකු, ගී තනු නිර්මාපකයකු, ව්‍යක්ත දේශකයකු, භාෂා සාහිත්‍යවේදියකු, සාහිත්‍ය ග්‍රන්ථ රචකයකු, වගේම ලංකාවේ ඉතාමත්ම ආශ්චර්යවත් වස්තුවක්. මගේ පියාගේ නමින් පාරක් නම් කළා.

1950-1965 කාලය සංගීත ක්‍ෂේත්‍රයේ ඉතාමත් දීප්තිමත් යුගයක්. ලයනල් එදිරිසිංහ, ඩබ්ලිව්.බී. මකුලොලු‍ව, මහාචාර්ය සරච්චන්ද්‍ර ආදී අය එකතු වෙලා සංගීතය සම්බන්ධව ශාස්ත්‍රීය මට්ටමේ සාකච්ඡා පැවැත්වූවා. ඒ සම්බන්ධ පර්යේෂණ ග්‍රන්ථ නිර්මාණය කළා.

“මව් පිය ආදී - සොඳුරු සෑමාගේ

කුලදෙටුවන් සේමා...”‍ යන ගීතය මගේ පියාගේ නිර්මාණයක්. මේ ගීතය ගායනා කළේ රූපසිංහ මාස්ටර්. ඒ කාලේ හැටියට රූපසිංහ මාස්ටර් මගේ තාත්තාට රුපියල් දෙකක් දුන්නා කියලා තාත්තා කියනවා. ඒ රුපියල් දෙකෙන් බේසමක් ගෙනාවලු‍ මාව නාවන්න. මට මතකයි ඒ බේසම, සුදු පාට බේසමක්.

වසර අසූ තුනක් තාත්තා ජීවත් වුණා. ඒ කාලය තුළ දී එතුමා හේමපාල මුනිදාස, පී. ද එස්. කුලරත්න, ඊරියගොල්ල, මාර්ටින් වික්‍රමසිංහ, ඇඩී ජයමාන්න, මුනිදාස කුමාරතුංග, වැනි අය ඇසුරු කළා. කුමාරතුංග මුනිදාස ඉතාමත් ළඟින් ඇසුරු කළා. එතුමාගේ ප්‍රධාන ශිෂ්‍යයා ජයන්ත වීරසේකර. එතුමා මගේ තාත්තාගේ ගුරුවරයෙක්. මගේ පියා ජයන්ත වීරසේකර මහතාට කොතරම් ගරු කළා ද කියනවා නම්, ඒ නිසාම මගේ නම විදිහට එතුමාගේ “ජයන්ත”‍ යන නම යොදා තියෙනවා.

මම කුඩා අවධියේ සිටම සංගීතයට ප්‍රවේශ වුණා. පසුකාලීනව සිංහබාහු, මනමේ, යන නාට්‍යවල තිබුණ තනු නිර්මාණය ගැන එතුමා සෑහීමකට පත්වුණේ නැහැ. ඒ නිසා ඒවා නවීකරණ කටයුතු සඳහා මම දායක වුණා. ඊට පස්සෙ “පේමතෝ ජායතී සෝකෝ”‍ වැනි පෙර ඔපෙරා (Opera) වලටත් මම සම්බන්ධ වුණා. සංගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්නටත්, ඉදිරියට යන්නත්, සංගීතය පිළිබඳව හැදෑරීම වඩාත් ඉවහල් වුණා. මම ඒ කාලයේ ඉන්දියාවට ගිහින් සංගීත් නිපුන් විභාගය සමත් වුණා. අපේ පරම්පරාවේ සංගීතය රැකගෙන ඉදිරියට ගෙනියන්න ඉන්නේ මගේ බාල පුතා වරදත්ත අරවින්ද. පාසල් සංගීත විෂයය මාලාවට සංගීතඥයෙක් ලෙස මගේ පියා වින්සන්ට් සෝමපාල මහතා ගැන අධ්‍යයනය කිරීමට, ඔහු හඳුන්වා දුන් තිත්, මාත්‍රා, තාල, ආදී විෂය කරුණු අධ්‍යයනය කිරීමට තිබෙන නිසා ඔහුගේ චරිතය පිළිබඳව පුවත්පතකට කරුණු හෙළිදරව් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා.” අවසන් වරට ඔහු අප සමඟ කීවේය.

ජාතික ගීයේ නිර්මාණයටත් දායක වුණු පරම්පරාවක් ලෙස අවුරුදු අසූ තුන් වියෙහි පසුවන සංගීතය විශාරද ජයන්ත අරවින්ද අතීතය පිළිබඳව අදහස් පළ කළේය.

- චාන්දනී දිසානායක