Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අප රටට නිදහස ලැබී වසර 72 ක් ගෙවී ගොසිනි. පළ මු නිදහස් දිනය සැමරූ දිනයේ අප රටේ ජීවත් වූවෝ තවමත් වෙසෙති. ඒ සියලු අය වයස අවුරුදු 72 ක් ගෙවා දමා අවසන් කර ඇත. ප්‍රථම නිදහස් දිනයේ සිදු වූ දේවල් පිළිබඳ මතකයන් තිබිය හැක්කේ වයස අවුරුදු 80 ක් වත් ගෙවා දමා තිබෙන අයටය.

ප්‍රථම නිදහස් දිනය නොයෙක් අයුරින් රටපුරා පවත්වා තිබේ. එකල පළ වූ පොත්පත්වල නොයෙක් තොරතුරු පළවී ඇත. ජාතික කොඩි ඔසවමින්, කැවුම් කිරිබත් කෙසෙල් වැනි ආහාර බුක්ති විඳිමින්, ආගමික කටයුතුවල යෙදෙමින් සැමරීම් කටයුතු සිදු කර තිබෙන අවස්ථා පිළිබඳ තොරතුරුද සඳහන්ව පවතී.

එකල පැවති රජයේ පාසල්වල ද නිදහස් උත්සව පවත්වා ඇත. පැවැත් වූ උත්සව පිළිබඳ තොරතුරු පාසල්වල විසූ මුල් ගුරුවරුන් මෙන්ම අනෙක් ගුරුවරුන් විසින් පාසලේ තිබූ ලොග්පොතේ සටහන් කර තිබේ. එම සටහන් ලියා ඇත්තේ පැවැත්වූ උත්සවය සම්බන්ධ තොරතුරු සනාථ කිරීම සඳහාය.

වර්තමානයේ උඩදුම්බර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇති පාසලක් වන්නේ බඹරබැද්ද කනිෂ්ඨ විද්‍යාලයයි. එම පාසල ප්‍රථම නිදහස් උත්සවය පැවැත්වූ පාසලකි. පැවැත්වූ උත්සවය පිළිබඳ තොරතුරු එකල පැවැති ලොග්පොතේ සටහන් කර ඇත්තේ මෙසේය.

1948 පෙබරවාරි 4 දා තබා ඇති සටහන 4.2.48

මෙදින නිදහස් දින බැවින් උත්සව පැවැත්වීමි. ළමෝ 89 දෙනෙක් පැමිණ සිටියෝය. පළමුකොට විහාරස්ථානය කරා ගොස් මල් පහන් පුදා පන්සිල් සමාදන්ව උත්සවය සම්බන්ධ විස්තර කියා දී සියල්ලන්ට පින් දෙන ලදී. අනතුරුව පාඨශාලාවට විත් ළමයි සියලු දෙනාටම දවල් බතෙන් සංග්‍රහකොට තවදුරටත් නිදහස් දින යන්නෙහි අදහස තේරුම් කර දී සියලුම ගෙවතුවල නිදහස් ගස නමින් පැලයක් සිටුවීමට නියමකොට ගෙවල්වලට යැව්වෙමි. උත්සවය සඳහා ගිය වියදම යූ.ජී. අප්පුවා, පී.ජී. කිරිහාමි යන ගම්මුලාදෑනි මහත්වරු දෙදෙනා සහ පාඨශාලාවේ ගුරු මහත්වරු දෙදෙනා විසින් ද උසුලන ලදී. අන්කිසි​වෙක් පැමිණියේ ද නැත.

මීට. (මීට ඉංග්‍රීසි අකුරෙන් යෙදූ අත්සන) HD.Te.

1948 පෙබරවාරි 6 තබා ඇති සටහන ​6.2.48

මේ මස 9, 10, 11, 12 යන දින නිදහස ලැබීමේ උත්සව සඳහා ද 13 දින ග්ලොස්ටර් ආදිපාදතුමා පොල්ගොල්ලේ අභ්‍යාස විද්‍යාලය පිහිටි ප්‍රදේශයට පැමිණීමේ උත්සව නැරඹීම සඳහා ද 4.2.48 වෙනි දින දරන පරීක්ෂක තුමාගේ දැන්වීම අනුව පාඨමාලාව නිවාඩු දුන්නෙමි.

මීට (ඉංග්‍රීසි අකුරෙන් යෙදු අත්සන) HD.Te.

ප්‍රථම නිදහස් දිනය සැමරූ දවසේ බඹරබැද්ද ගම්මානයේ විසූ කිහිප දෙනෙක් මේ මොහොතේ ද ජීවත් ව සිටිති. බඹරබැද්දේ පදිංචිව සිටින අවුරදු 83 ක් වයසැති සුබසිංහ මුදියන්සේලාගේ මැදගෙදර හීං මැණිකා මහත්මිය බඹරබැද්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තැනැත්තියකි. ඇය පැවසුවේ මෙවන් කථාවක්.

මම ඉගෙන ගත්තේ බඹරබැද්ද ඉස්කෝලේ. 1949 අවුරුද්දේ 5 පන්තියේ හිටියේ. හයේ පන්තියට සමර්ථ වුණා. පහේ පන්තියෙන් පස්සේ ඉස්කෝලේ ගියේ නෑ. ඉස්කෝලේ තිබ්බෙ කටුමැටි ගහපු බිත්ති. වහළට පිදුරු වහළ තිබ්බෙ.

ගොම මැටි ගාපු බිමක් තිබුණේ. ඉඳගන්ට බංකු තිබුණා. ගමේ අය එක්කහු වෙලා ගොඩනැගිල්ල හදපු විත්තිය මම පස්සේ කලෙක දැන ගත්තා. ලොකු මහත්තයයි තවත් ගුරු මහත්වරු දෙන්නෙකුයි උගන්වන්ට හිටියා. බතල, මඤ්ඤොක්කා, කොස්, දෙල් තම්බලා අපට කන්ට දෙනවා.

පාට ඇඳුම් ඇඳගෙන ගියේ. ගෑනු ළමයි ගවුම් ඇඳගෙන ගියා. චීත්තත් ඇඳගෙන ගියා. සෙරෙප්පු, සපත්තු වගේ පාවහන් කවදාවත් දාගෙන ගියේ නෑ. ගෑනු ළමයි සපත්තු දාන විත්තියක් අපි දන්නෙත් නෑ. ගෑනු ළමයිගේ කකුල්වලට සපත්තු දානවා කියන්නට දන්නෙත් නෑ. හුන්නස්ගිරියේ ඉඳලා බඹරබැද්දට එන්ට තිබුණේ අඩි පාරක්. හුන්නස්ගිරියේ ඉඳලා බඹරබැද්දට හැතප්ම හයක් විතර දුරයි. හැතැප්ම හතරක් විතර දුරකට පාර වැටිලා තිබුණේ තේ වතු මැදින්. තේ වතු අයිතිව තිබුණේ සුද්දන්ට. සුද්දෝ වාහනයක් එන්ට පුළුවන් විදිහට පාර කපන්නට ඉඩ දුන්නේ නෑ. ගමේ අය විකුණන්ට හුන්නස්ගිරියට බඩු අරන් ගියේ තවලම් ගොන් පිට පටවා ගෙන. පාරේ තවලම් යන බව දැන ගන්නේ ගොන්ගේ බෙල්ලේ බැඳලා තියෙන මිනිගෙඩි හෙල්ලෙනකොට එන සද්දෙනුයි.

පළවෙනි නිදහස් උත්සවේ තිබ්බ කාලේ මම ඉස්කෝලේ ඉගෙන ගනිමින් ඉඳල තියෙනවා. ඒ උත්සවය ගැන මට ​මොනවත් මතක නෑ. 1948 අවුරුද්දෙ මම හතරෙ ඉඳලා තියෙන්​නේ. මම විවාහ වුණේ ටිකිරි බණ්ඩ එක්ක. ඔහු කවදාවත් ඉස්කෝලෙ ගිහිල්ල නෑ. ඔහුට දැන් වයස අවුරුදු 95 ක් වෙනවා.

අපිට පුතාලා තුන් දෙනයි දුවල හය දෙනයි ඉන්නවා. ඒ ඔක්කොම බැඳලා. අපිට මුණුබුරු මිනිබිරියෝ විතරක් නොවෙයි මී මිනිබිරියොත් ඉන්නවා. ඒ අයගේ හයියෙන් අපි ජීවත් වෙනවා.

සටහන හා ඡායාරූප හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ


Recent Stories