Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දුප්පත්කම නිසා අසරණව සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ට නිවාස ලබා දීමේ නව වැඩසටහනක් ආරම්භ කරන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නිවාස වැඩසටහන ආරම්භ කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක ක්ෂේත්‍ර පරික්ෂාවට අද (15) දින සහභාගී වෙමිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉඩමක් සහ යක්කල, ලංකා ලෝහ ආයතනව යාබදව පිහිටි ඉඩමේ ක්ෂේත්‍ර පාරීක්ෂා කිරීම අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

යක්කල නගරයට ආසන්නයේ පිහිටි මෙම ඉඩම් දෙකෙහි භූමි ප්‍රමාණය අක්කර 7 කට අධික වේ.

එම ඉඩම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි පවතින අඩුපාඩු සහ ගැටළු නිවැරදි කර මායිම් යොදා ඉඩම් වෙන් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

දුප්පත්කම හේතුවෙන් අසරණ වී සිටින පවුල්වල සරසවි වරම් ලබන දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා නගරයට ආසන්නව අංග සම්පූර්ණ නිවසක් එම පවුලට ලබා දීම මෙම නිවාස වැඩසටහන මඟින් සිදු වේ.

මෙසේ ලබාදෙන නිවාස සදහා කිසිදු අයකිරීමක් නොමැති බවත් සරසවි වරම් ලබන දරුවාට උපාධිය ලබා ගැනීම දක්වා අධ්‍යාපන කටයුතු නිදහසේ සිදු කිරීමට අවශ්‍ය මානසිකත්වය නිර්මාණය කිරීම මෙහි අරමුණ බවත් නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසයි.

එම ශිෂ්‍යයා උපාධිය ලබා ගෙන රැකියාවක නිරතව යම් ස්ථාවරයකට පැමිණි පසුව අදාළ නිවසේ වටිනාකම වාරික වශයෙන් සහනාදායී ක්‍රමවේදයක් යටතේ අයකර එම නිවසේ අයිතිය ලබා දීමටද මෙමඟන් කටයුතු කරන බව ද නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසයි.