Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අනිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනවාරි මස 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අද (15) නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(14) දින වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී හැසිරුණු ආකාරය ද අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට සහ අපහාසයට ලක් කිරීමක් බවයි. ඔහු අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට ගිය බවත් ඔහු එහිදී මාධ්‍ය ඉදිරියේ මංගල උත්සවයකට සහභාගි වන ආකාරයට විවිධාකාරයේ හැසිරීම් ප්‍රදර්ශනය කර ඇති බවත් එම ක්‍රියාවන් තුළින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට සහ අපහාසයට ලක්කිරීමක් සිදු කර ඇති බවයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ.

එම නිසා එවැනි ක්‍රියා සමජගත වීම වළක්වාලමින් සමාජයට යහපත් පණිවුඩයක් සන්නිවේදනය වන ආකාරයට සැකකරු සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

සැකකරු මීට පෙර ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසට රංජන් රාමනායක මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් මේ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තෙ අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීමේ චෝදනාවට බවත් ගිනි අවියක් සම්බන්ධයෙන් පෙර අත්අඩංගුවට ගැනීමට මේ අවස්ථාවට සම්බන්ධ කර ගත නොහැකි බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ දුරකථන සංවාද අනුව අධිකරණයට බලපෑම් කර ඇති ඊට අනුබල දී ඇති ඕනෑම පුද්ගලයකු ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කරන බවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මන්ත්‍රිවරයා සහ අධිකරණ විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් අතර සිදු වූවායැයි කියන දුරකථන සංවාද මෑතකදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර එම සංවාද පරික්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි කටයුතු වලට අනිසි බලපෑමක් සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදී.

රංජන් රාමනායක මන්ත්‍රිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ (2) ව්‍යවස්ථාවෙන් කියවෙන ආකාරයට අධිකරණ කටයුතු වලට බලපෑම් කිරීමේ වරද සිදු කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රිවරයා ජනවාරි මස 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා , මන්ත්‍රීවරයාට නියෝග කළේ කටහඬ පරීක්ෂණයක් සඳහා ලබන 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි.