Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකීය වාහන රථ පෙළ ගමන් කිරීම සඳහා සිදුකරනු ලබන මාර්ග වසා දැමීමේ ක්‍රමය මින් ඉදිරියට ක්‍රියාත්මක නොකරන ලෙස තායිලන්තයේ මාහා වජිරලොන්කෝන් නියෝග කර ඇති බව එරට රජය නිවේදනය කර සිටිනවා.

තායිලන්ත රජ පවුලේ සාමාජිකයින් ගමන් බිමන් යාමේදී ඔවුන් ගමන් කරනු ලබන රථ පෙළ සඳහා මාර්ගයේ ඉඩ සැලසීම සඳහා සිදුකරනු ලබන මාර්ග වසා දැමීම සම්බන්ධයෙන් එරට ජනතාව සිය නොසතුටට පළ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වන්නේ.

මින් ඉදිරියට රාජකීය රථ පෙළ ගමන් කිරීමේදී ඊට අදාළ මාර්ගයේ කොටස පමණක් තාවකාලිකව අවහිර කිරීමට තායිලන්ත රථ වාහන පොලිසිය මින් ඉදිරියට පියවර ගනු ඇති බවයි එරට රජයේ මාධ්‍ය ප්‍රකාශිකාව වන නරුමොන් පින්සියොසින්වට් සඳහන් කර සිටියේ.

රාජකීය රථ පෙළ ගමන් කිරීමේදී එම මාර්ගයට ඉහළින් වූ ගුවන් පාලම භාවිතය මිට පෙර තහනම්ව පැවතියත් නව ක්‍රමය යටතේ එම නියෝගයද ඉවත් කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

" තමන්ගේ හා තම පවුලේ සාමාජිකයින් ගමන් බිමන් යාමේදී ඉන් ජනතාවට සිදුවන හානිය සම්බන්ධයෙන්" තායිලන්ත රජුගේ අවධානය දැඩිව යොමුවී ඇති බවද මෙහිදී තායිලන්ත රජය නිවේදනය කර සිටියා.

ලොව වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් වලින් 11 වෙනි ස්ථානයේ බැංකොක් නගරය පසුවන බවයි 2017 වර්ෂයේදී අමෙරිකාව විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.