Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රිවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදුනොවන අයුරින් එම අත්අඩංගුව ගැනීම සිදුකළ යුතු බව ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයේත් මන්ත්‍රිවරුන් අද (09) පෙරවරුවේ පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්නා.

කුමන දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රිවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු නමුත්, ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සම්බන්ධව මාර්ගෝපදේශනයක් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලෙසත් මන්ත්‍රිවරුන් පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත.

කථානායකවරයාගේ ආරාධනය පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගණනාවක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරින්ද, වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ඇතුළු පොලිස් නිලධාරින් විශාල පිරිසක් ද මෙම රැස්වීමට සහභාගීව සිටියා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ ගෞරවයට හානි සිදු නොවන පරිදි මෙන්ම පොලිස් නිළධාරින්න්ගේ අභිමානයට හානි සිදුනොවන අයුරින්, එය සිදු කළ යුතු බව මෙහිදී මන්ත්‍රිවරුන් පෙන්වා දුන්නා.

මෙම තත්ත්වය පිළිබදව පාර්ලිමේන්තුවේදී ද මන්ත්‍රිවරුන් අවස්ථා ගණනාවක දී චෝදනා එල්ල කර ඇති බවත් මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සිදු කරන බව කථානායකවරයා දැනුවත් කලද එය නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවන බවට මෙහිදී චෝදනා එල්ල විය.

යම් මන්ත්‍රිවරයෙක් චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට පෙර එම මන්ත්‍රිවරයාට පොලිසියට පැමිණෙන ලෙස දැන්වීමට වුවද හැකි බව මන්ත්‍රිවරු පෙන්වා දෙනු ලැබුවා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කථානායකවරයා ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී තීරණය කර ඇත.