Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාව ඒවා පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී ඇයගේ ආමාශය තුළ වූ ගුලි කීපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්වයට පත් වී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ .

තිස් පස් හැවිරිදි මෙම කෙන්යානු ජාතික කාන්තාව මුලින්ම කෙන්යාවේ නයිරෝබි සිට ඉතියෝපියාවෙ අඩිස් අබාබා වෙත පැමිණ, එහිදී මෙම කොකේන් මිලදීගෙන ඒවා උපත් පාලන කොපු තුළ බහා ගුලි වශයෙන් සකස්කර ගිල දමා තිබේ.ඉන්පසු ඇය කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.

ඉකුත් 17 දින සවස 4.20ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ Q.R.-654 දරන ගුවන් යානයෙන් ඇය මෙසේ කටුනායක ගුවන් තොටුපළ පැමිණ තිබුණි. ඇය රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 100 ක් පමණ ගිල දමා ඇති බව ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

ඇයගේ මෙම දීර්ඝ ගුවන් ගමන සඳහා දින ගණනාවක් ගතවී ඇති අතර එම කාලය අතරතුරදී ඇය විසින් ගිල දමා තිබූ කොකේන් ගුලි 30 ක් එළියට පැමිණ තිබුණි. ඇය ඒවා ඇගේ ගමන් මල්ලේ සඟවා ගෙන ඇති අතර ඇය අත් අඩංගුවට පත් වීමෙන් පසු මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තවත් කොකේන් ගුලි 19 ක් පිටතට ගැනීමට වෛද්‍යවරු සමත් වී තිබුණි.

මේ වන විට තව දුරටත් ඇයගේ ආමාශය තුළ රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 51 ක් පමණ ඇති අතර , ඒවායින් කීපයක් ඊයේ (19) දින රාත්‍රී ඇයගේ ආමාශය තුළ දී පුපුරා යන්නට ඇතැයි මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් සැක පහළ කරති.