බත්තරමුල්ල අවට අද විශේෂ රථවාහන සැලැස්මක්

0
343

අද (05) පැවැත්වෙන ආණ්ඩුවට සහය දක්වන මහජන උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා ඒ ආශ්‍රිත ප‍්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

මේ අතර අදාළ උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම හා ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ද ක්‍රියාත්මක කෙරෙනවා.

දහවල් 12.00 සිට අදාළ මාර්ගවල රථ වාහන ධාවනය සීමා කරන අතර කඩුවෙල, අතුරුගිරිය හා මාළඹේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහනවලට කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය හරහා පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරාහේන්පිට දෙසට ගමන් කර කොළඹට ළගා වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම කොළඹ සිට මාළඹේ, අතුරුගිරිය හා කඩුවෙල දෙසට ගමන් ගන්නා වාහනවලට ආයුර්වේද වටරවුමෙන් ගමන් කර බුත්ගමුව පාර, අඹගහ හංදිය, කළපළුවාව පාර හරහා කොස්වත්ත හංදියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බවයි පොලීසිය පැවසුවේ.