තවදුරටත් ඔසප් වීම මත බදු පැනවිය යුතුද ?

ගෙවීගිය සති කීපය තුළ කතාබහට ලක්වුනු ඡන්ද පොරොන්දු අතරින් වඩාත්ම අවධානයට ලක්වූ පොරොන්දුව වූයේ කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදෙන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලබාදුන් පොරොන්දුවයි. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රේමදාස මහතා පවසා සිටියේ තම රජයක් යටතේ, මිල අඩු සහ ගුණාත්මක සනීපාරක්ෂක තුවා ලබාගැනීම හැකිවන තෙක් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි. මේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් තමාව සුප්‍රකට හින්දි චිත්‍රපටයක චරිතයක් වූ පෑඩ් මෑන් ලෙස හඳුන්වාදීම පිළිබඳ ආඩම්බර වන වගත් ඔහු පවසා සිටියේය.

කාන්තාවන්ගේ මාසික ඔසප් වීම හා සනීපාරක්ෂාව තහවුරු කිරීම උදෙසා අවශ්‍ය වන සනීපාරක්ෂක තුවා ලබාගැනීමට ඇති හැකියාව ලාංකීය කාන්තාවන් විසින් මුහුණපාන විශාල ගැටලුවක් වන අතර මේ වන විට එය ජනප්‍රිය දේශපාලනඥයන්ගේ පොරොන්දු හා ප්‍රකාශ තුලද අසන්නට ලැබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මේ වසරේ මාර්තු මස මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු රජයෙන් විමසා සිටියේ ජනගහනයෙන අඩකට අවශ්‍ය වන භාණ්ඩයක් මත බදු පනවන්නේ කුමන පදනමකින්ද සහ තත්වයෙන් බාල සනීපාරක්ෂක ක්‍රමවේද භාවිතය නිසා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පිළිබඳ රජය දැනුවත්ද යන්නයි. 

ඔසප්වීම හා සබැඳි සනීපාරක්ෂාව මත බදු පැනවීම

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වන අතර ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 4.2 කට ඔසප් වීම සිදුවේ.  එහෙත් මාසික ඔසප් වීමේදී අවශ්‍ය වන ගුණාත්මක හා තත්වයෙන් උසස් සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට ලාංකිකයන්ට සිදුව ඇති අතර ගුණාත්මක සනීපාරක්ෂක තුවා සුබෝගබෝගී භාණ්ඩයක් බවට පත්ව තිබේ. මෙයට මූලික හේතුව වනුයේ සනීපාරක්ෂක තුවා මත පනවා ඇති ආනයන බදු හා අනෙකුත් බදු බව පෙනේ. වර්තමානයේ සනීපාරක්ෂක තුවා මත පනවා ඇති බද්ද 62.6 % කි.  ශ්‍රී ලංකා රේගුවට අනුව සනීපාරක්ෂක තුවා යන අයිතමය එච් එස් කේත 96190010 යටතේ බදු වලට යටත්ව ඇති අතර ඒ සඳහා 30% ක ආනයන තීරු බද්දක්, 15 % ක වැට් බද්දක්, 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් සහ 7.5% ක ගුවන්තොටුපළ හා වරාය සංවර්ධන බදු යන බදු පනවා තිබේ. මේ සියල්ල සලකා බැලූ විට සනීපාරක්ෂක තුවා මත පනවා ඇති සම්පූර්ණ බදු ප්‍රතිශතය ආනයනික මිලෙන් 62.6 % කි. 

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය තෙක් ආනයනික සනීපාරක්ෂක තුවා මත 101.2 % ක බද්දක් පනවා තිබූ අතර සමාජ මාධ්‍ය ජාල හරහා සිදුකරනු ලද බලපෑම මත සනීපාරක්ෂක තුවා මත පනවා තිබූ 30% ක සෙස් බද්ද ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගන්නා ලදී. ඒ අනුව සනීපාරක්ෂක තුමා මත පනවන ලද සම්පූර්ණ බදු ප්‍රතිශතය 62.6 % තෙක් අඩුවිය. එහෙත් මෙම බදු ප්‍රතිශතයක් තවමත් ඉහළ අගයක් ගන්නා අතර ඒ හේතුවෙන් තවමත් ගුණාත්මක සනීපාරක්ෂක තුවා වලට ඉහළ මිලක් ගෙවිය යුතුය. මේ හේතුවෙන් කාන්තාවන් විශාල පිරිසක් ගුණාත්මක සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වේ. 

සටහන 1: 2018 සැප්තැම්බර් මාසයට පෙර සනීපාරක්ෂක තුවා මත පනවන ලද විවිධ බදු 

ආනයන තීරු බදු වැට්  වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු  ජාතිය ගොඩනැගීමේ බද්ද  සෙස් බද්ද සම්පූර්ණ බදු ප්‍රමාණය
30% 15% 7.5% 2% 30% or Rs.300/kg 101.2%

සාමාන්‍යයෙන් කාන්තාවකගේ මාසික ඔසප් වීම දින 5 ක් පුරාවට පවතින අතර ඒ කාලය අතරතුර කාන්තාවක් දිනකට සනීපාරක්ෂක තුවා 4 ක් පමණ භාවිතා කරයි. පෙර පැවති බදු ක්‍රමයට අනුව කාන්තාවක් සනීපාරක්ෂක තුවා සඳහා මසකට රුපියල් 520 ක් පමණ වැය කල යුතු විය. මෙය අඩු ආදායම් ලබන පවුලකට සැලකිය යුතු වියදමකි. 2016 ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්‍ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අඩුම ආදායම් ලබන පවුල් 20% හි සාමාන්‍ය මාසික ආදායම රුපියල් 14,843  කි. ඒ අනුව මෙකී අඩු ආදයම් ලබන්නන් මසකට තම ආදායමෙන් 3.5% ක් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම වෙනුවෙන් වෙන්කළ යුතුය. මෙය ඔවුන්ගේ ආදායමට සහ අනෙකුත් වියදම් වලට සාපේක්ෂව ඉහළ අගයකි. ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්‍ෂණ දත්ත වලට අනුව පවුලේ ඇඳුම් වලට වියදම් කරන ප්‍රතිශතය මුලු ආදායමෙන් 4.4 % ක් වන අතර මෙවන් අඩු ආදායම් ලාභී පවුල් වලට සනීපාරක්ෂක තුවා වලට ආදායමෙන් 3.5% වැය කිරීම යනු ඉහළ අගයකි. 

මේ වන විට ඔසප් වීමේ දී අවශ්‍ය වන සනීපාරක්ෂක තුවා ඇතුලු ඒ හා සම්බන්ධ අයිතම වල මිල අඩුකිරීමේ හෝ බදු ඉවත්කිරීමේ අන්තර්ජාතික ප්‍රවණතාවයක් දැකිය හැකිය. ස්ත්‍රී පුරුෂ සමාජබාවය සම්බන්ධයෙන් සමානතාවය ඇතිකිරීම වෙනුවෙන් වන සටන් වලදී ද දරිද්‍රතාවය බාධාවක් කර නොගනිමින් මාසික ඔසප් වීමේදී සනීපාරක්ෂාව තහවුරු කිරීම යන්න මූලික සටන් පාඨයක් බවට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් තීරණ ගත් පළමු රට කෙන්යාව වන අතර කෙන්යානු රජය 2004 දී ඔසප්වීම හා සම්බන්ධ සනීපාරක්ෂක භාණ්ඩ මත පනවා තිබූ විකිණීමේ බද්ද අහෝසි  කිරීමට කටයුතු කරන දී. පසුගිය වසර කීපය ඇතුලත තවත් රටවල් රැසක් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කළ අතර ඕස්ට්‍රේලියාව,කැනඩාව,ඉන්දියාව,අයර්ලන්තය සහ මැලේසියාව මෙකී රටවල් අතර වේ.  

මිලදී ගැනීමේ නොහැකියාවේ බලපෑම 

සනීපාරක්ෂක තුවා වලට ගෙවිය යුතු ඉහළ මිල ශ්‍රී ලංකාව කාන්තාවන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට බලපාන වග පැහැදිලි කරුණකි. 

යෞවනියන් 720 ක් සහ කාන්තා ගුරුවරියන් 282 ක ගේ සහභාගීත්වයෙන් 2015 දී කලුතර දිස්ත්‍රික්කයේ සිදුකරන ලද සමීක්ෂණයකට අනුව 60% දෙමාපියන් මාසික ඔසප් වීම වන දිනයේදී තම ගැහැණු දරැවන් පාසල් නොයවන බව සොයාගන්නා ලදී. තවත් සමීක්ෂණයක් මගින් පෙන්වා දෙන අන්දමට යෞවනියන්ගෙන් තුනෙන් එකක් මාසික ඔසප් වීම නිසා පාසල් නොයන බවයි. මේ සමීක්ෂණයට අනුව මෙසේ ඔසප් වීම හේතුවෙන් පාසල් නොයන යෞවනියන්ගෙන් 68% ක සිට 81% ක ප්‍රමාණයක් වේදනාව සහ ශාරීරික අපහසුතා හේතුවෙන් පාසල් නොයන අතර 23% සිට 40% දක්වා පාසල් නොයන්නේ ඔසප් වීම හේතුවෙන් ඇඳුම් කිළිටි වීම යන බිය හේතුවෙනි. 

68% ක සිට 81% ක ප්‍රමාණයක් වේදනාව සහ ශාරීරික අපහසුතා හේතුවෙන් පාසල් නොයයි.

23% සිට 40% ක් ඔසප් වීම නිසා ඇඳුම් කිළිටි වීම/පැල්ලම් සටහන් වීම නිසා පාසල් නොයයි. 

සනීපාරක්ෂක තුවා වල මිල අධික වීම හේතුවෙන් සමහරක් අඩු ආදායම් ලාභී පවුල්වල කාන්තාවන් සෞඛ්‍ය සම්පන්න නොවන විකල්ප ක්‍රමවේදයන් භාවිතා කිරීමට යොමුවන අතර එකී ක්‍රමවේදයන් ඔසප්වීම සෞඛ්‍යසම්පන්නව කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුකරයි. මෙම විකල්ප ක්‍රමවේද භාවිතය හේතුවෙන් විවිධ  විෂබීජ ප්‍රජනක පද්ධතියට ඇතුල්වීමට හැකි වේ. ගැබ්ගෙල පිළිකා වලට බලපාන සාධක පිළිබඳ ඉන්දියාවේ සිදුකරන ලද පරේෂණයකට අනුව මාසික ඔසප් වීමේදී සනීපාරක්ෂක තුවා වෙනුවට රෙදි යොදාගැනීම හා ගැබ්ගෙල පිළිකා ඇතිවීම අතර සෘජු සම්බන්ධයක් ඇති බවත් සොයාගන්නා ලදී. මේ දත්තය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වන්නේ ලංකාවේ සුලබව පිළිකා ප්‍රභේද අතර දෙවන තැනට ඇත්තේ ගැබ්ගෙල පිළිකා වීම බැවිනි. 


ඔසප් සමයේදී සෞඛ්‍ය සම්පනබාවය තහවුරු කරන සනීපාරක්ෂක තුවා  වැනි ද්‍රව්‍ය මිලදී ගැනීමට නොහැකිවීම සහ කාන්තාවන් ශ්‍රම බලකායට දක්වන දායකත්වය අතර සෘජු සම්බන්ධයක් ඇති බවද පරේෂණ වලින් තහවුරු වී ඇත. බංග්ලාදේශයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වූයේ සනීපාරක්ෂක තුවා නොමිලේ සැපයූ විට කාන්තාවන වැඩට නොපැමිණෙන දින සංඛ්‍යාව අඩු වන වග සහ කාර්යක්ෂමතාවය ඉහළ යන වගයි. 

වඩාත් තිරසාර වූ විසඳුමක් කරා

සනීපාරක්ෂක තුවා වල අධික මිල හේතුවෙන් කාන්තාවන්ට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් ලබාදීමට රජයට සැබෑ උවමනාවක් තිබේ නම් රජය විසින් කල යුත්තේ ආනයනික සනීපාරක්ෂක තුවා මත පනවා ඇති සියලුම බදු ඉවත් කිරීමයි. වර්තමානයේ සනීපාරක්ෂක තුවා මත පනවා ඇති අධික බදු හේතුවෙන් ඒවාට ඉහළ මිලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවී ඇති අතර ඒ හේතුවෙන් සැලකිය යුතු කාන්තාවන් ප්‍රමාණයකට ගුණාත්මක බවින් යුත් සනීපාරක්ෂක තුවා ලබාගැනීමේ හැකියාව ඇහිරී ඇත. මෙසේ සනීපාරක්ෂක තුවා මත පනවා ඇති අධික බදු ඉවත් කිරීම හරහා ආනයනය සනීපාරක්ෂක තුවා වල පිරිවැය පහළ යන අතර ඒ හරහා වෙළඳපල තරඟකාරීත්වය ඉහළගොස්  සනීපාරක්ෂක තුවා වල මිල පහල යනු ඇත.

මෙසේ බදු ඉවත්කිරීමට විරුද්ධව ඇති සම්ප්‍රදායික තර්කය වනුයේ බදු ඉවත් කිරීම හරහා දේශීය නිෂ්පාදකයන්ට සිදුවන අහිතකර බලපෑමයි. එහෙත් ලංකාවේ සනීපාරක්ෂක තුවා කර්මාන්තය පවතින්නේ ද සුලු පරිමාණයෙන් වන අතර සම්පූර්ණ සනීපාරක්ෂක තුවා වල අපනයන අගය මිලියන 25.16 වන අතර එය සමස්ත අපනයන ඉපැයීම් වලින් 0.001 % පමණි. මෙම ක්ෂේත්‍රයේ වෙළඳපල තරඟකාරීත්වය ඉහල නැංවීම හරහා සනීපාරක්ෂක තුවා නිෂ්පාදන පිරිවැය අඩුකිරීමට හා නව තාක්ෂණය යොදාගනිමින් වඩාත් කාර්යක්ෂම වීමට දේශීය නිෂ්පාදකයන්ව දිරිගන්වනු ඇත. ඒ හරහා පාරිභෝගිකයන්ට අඩු මිලට ගුණාත්මක භාණ්ඩ ලබාගැනීමට හැකිවනු ඇත. 

මෙසේ බදු ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් වන අනෙකුත් තර්කය වනුයේ තත්වයෙන් බාල භාණ්ඩ වෙළඳපලට පැමිණේ යැයි ඇති බියයි. එහෙත් ශ්‍රී ලංකාව භාණ්ඩ ආනයනයේදී එකී ආනයනික භාණ්ඩ ගුණාත්මකබාවය පිළිබඳ තත්ව සහතිකයන් වන SLS 111 හා සමපාත වනවාදැයි පරික්ෂා කරන බැවින් බාල භාණ්ඩ වෙළදලපලට පැමිණේ යැයි අනිසි බියක් ඇතිකර ගත යුතු නැත. 

ඊට අමතරව මෙසේ සනීපාරක්ෂක තුවා මත පනවා ඇති බදු ඉවත් කිරීම හරහා ශ්‍රී ලංකාව විසින් අත්සන් කර ඇති ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතීන් සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ප්‍රඥප්තියේ ය 12(1) වගන්තිය මගින් එකඟ වී ඇති ජනතාව ගුණාත්මක කායික හා මානසික සෞඛ්‍යයෙන් යුතු වග තහවුරු කිරීම යන වගකීම් ඉටුකිරීමක්ද වනු ඇත. සනීපාරක්ෂක තුවා මත අධික ආනයන බදු පැනවීම වන වත්මන් ක්‍රමවේදය හරහා සෑම කාන්තාවකටම වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය යම් දුරකට අහුරා ඇති අතර ඒ හේතුවෙන් ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතීන් සම්බන්ධයෙන් වන අන්තර්ජාතික ප්‍රඥප්තියට එළඹීම හරහා වූ එකඟතාවයන් ඉටුකිරීමට රජය අසමත් වී ඇත.  

සනීපාරක්ෂක තුවා ඇතුලු සෞඛ්‍ය සම්පන්න ඔසප් වීමක් තහවුරු කිරීමට අවශ්‍ය වන භාණ්ඩ වල මිල පහත හෙළීමට සහය වීම හරහා කාන්තාවන් ගුණාත්මක බවින් යුත් භාණ්ඩ වැඩියෙන් භාවිතා කිරමට පෙළඹෙනු ඇත. ඒ හරහා සුවහසක් ලාංකීය කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීමට හැකිවනු ඇති අතර අතිවිශේෂ ගැසට් පත්‍රයක් හරහා සනීපාරක්ෂක තුවා මත පනවා ඇති බදු ඉවත් කිරීමට රජය පියවර ගත යුතුය.

ආනයන තීරු බදු හා ගුවන්තොටුපළ හා වරාය ගාස්තු ඉවත් කිරීම හරහා පමණක් බදු ප්‍රතිශතය 43.9 % කින් පහල දැමීමට හැකි වනු ඇති අතර සනීපාරක්ෂක තුවා මත පනවා ඇති බදු ප්‍රතිශතය 18.7 % දක්වා පහත යනු ඇත. මෙසේ බදු ඉවත්කිරීම හරහා සනීපාරක්ෂක තුවා වල මිල අඩුකිරීම හේතුවෙන් යෞවනියන්ගේ අධ්‍යාපනයට, කාන්තාවන්ගේ සෞඛ්‍යයට සහ ශ්‍රම බලකා සහභාගීත්වයට ඇති ප්‍රධාන බාධකයක් ඉවත් වනු ඇත. ඒ හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් අවම වී කාන්තාව වඩාත් සවිබලගන්වමින් සිදුවන ආර්ථික වර්ධනයකට මග පෑදෙනු ඇත. 

කාන්තාවන්ට නිසි තැන ලබාදීම හා ඔවුන් සවිබල  ගැන්වීම පිළිබඳ කතිකාවත් මැතිවරණ වේදිකාවේ නිරන්තරයෙන් අසන්නට ලැබේ. සැබෑවටම  කාන්තාවන් සවිබලගැන්වීම ඇරඹීම උදෙසා සනීපාරක්ෂ තුවා මත ඇති බදු ඉවත් කිරීම වඩාත් යෝග්‍යම ක්‍රියාව නොවන්නේද ?  

සටහන: නිස්තා චාදා

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න