MAS හෝල්ඩින්ස් හි මහේෂ් අමලියන් මහතාට 2019 ෆෙමී සම්මාන උළෙලේදී මානුෂීය මෙහෙවර වෙනුවෙන් සම්මානයක්

2
179

MAS හෝල්ඩින්ස් සමාගමේ සම-නිර්මාතෘ සහ සභාපති මහේෂ් අමලියන් මහතා පෙබරවාරි 04 වන දින පැවති ෆෙමී සම්මාන උළෙලේදී මානුෂීය මෙහෙවර වෙනුවෙන් ගෞරවණීය සම්මානයකින් පිදුම් ලැබීය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවරදී පැවති මෙම උත්සවයට ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම් රැසක නියෝජිතයෝ සහභාගී වූහ.

The Underfasion Club මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ ප‍්‍රධාන අරමුණක් වන්නේ සමීපතම ඇඟලූම් ක්ෂේත‍්‍රයේ උන්නතියට කැපීපෙනෙන දායකත්වයක් දක්වන පුද්ගලයන් ඇගයීමට ලක්කිරීමය. මෙම වැඩසටහන තුළින් ලැබෙන සියලූම ප‍්‍රතිලාභ උසස් අධ්‍යාපන මට්ටමේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වන ශිෂ්‍යත්ව වැඩසටහන්, සම්මාන, රැකියා පුහුණු අවස්ථා සහ ප‍්‍රදානයන් සඳහා යොමුකෙරේ.

මහේෂ් අමලියන් මහතා ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේදී ක‍්‍රමෝපායික නායකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබා ඇති අතර, ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එතුමන් ඉටුකළ මෙහෙවර උදෙසා 2005 වසරේදී දේශමාන්‍ය සම්මානයද හිමිවිය.

පසුකාලීනව ඒ මහතාගේ මෙහෙවර තවදුරටත් අගයමින් ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් ඒ මහතා වෙත ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදි. 2013 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ‘Women’s Empowerment Principels (WEP)Leader Ship Awards’ සම්මාන උළෙලේදී සම්මාන හිමිවූ ජාත්‍යන්තර ව්‍යාපාරික නායකයන් පස් දෙනාගෙන් එක් අයෙකු බවට පත්වීමට අමලියන් මහතාට හැකිවූ අතර, එහිදී ඒ මහතා වෙත ‘cultural change for Empowerment’සම්මානයද හිමි විය. World Bussines Magazine විසින් ඒ මහතා ආසියාවේ ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම ප‍්‍රගතිශීලී නායකයන් 20 දෙනා අතරට නම්කර තිබේ.

2019 ෆෙමී සම්මාන උළෙලේදී අදහස් දක්වමින් මහේෂ් අමලියන් මහතා මෙසේ පැවසීය. ‘‘මා මෙම සම්මානය සලකන්නේ අප සමඟ අත්වැල් බැඳගෙන සිටින ප‍්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන
ලද මානුෂීය මෙහෙවරට ලැබුණු සුවිශේෂී ගෞරවයක් ලෙසයි. ශ‍්‍රමය, සෞඛ්‍යය, සුරක්ෂිතතාව සහ පරිසරය යනාදිය සම්බන්ධයෙන් ලොව පිළිගත් ප‍්‍රමිතීන් අනුගමනය කරමින්, ජාත්‍යන්තර තලයේ සමාගමක් ලෙස ඉදිරියට යාම ආරම්භයේ පටන්ම අපගේ අරමුණ වී තිබුණා.”

මහේෂ්, අජේ සහ ශරාඞ් සහෝදරයන් විසින් ආරම්භ කරන ලද MAS හෝල්ඩින්ස් සමාගම දකුණු ආසියාවේ ඇඟලූම් නිර්මාණ හා සැපයුම් ක්‍ෂේත‍්‍රයේ විශාලතම සමාගම ලෙස සැලකේ. නිර්මාණ සැලසුම් සිදුකරන මධ්‍යස්ථාන, ඇඟලූම් කර්මාන්ත ශාලා, විධිමත් සැපයුම් ජාලයක්, ඇඟලූම් හා පාවහන් සම්බන්ධ තොරතුරු තාක්ෂණ සේවාවන්, පුද්ගලික කර්මාන්ත උද්‍යානයක් සහ අලෙවි සන්නාම ඇතුළු අංශ රාශියක් එම සමාගම සතුය.

ජනතාව සවිබල ගන්වමින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය පෝෂණය කිරීම නිසා මේ වනවිට ලොව ප‍්‍රමුඛ පෙළේ ඇඟලූම් සන්නාම සමඟ
සම්බන්ධව කටයුතු කිරීමට MAS හෝල්ඩින්ස් සමත් වී ඇත. රටවල් 16 ක අතිනවීන පහසුකම් සහිත කර්මාන්තශාලා 53 ක් සහ 98,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත මෙම සමාගම ආචාරධර්ම සුරැුකෙන, තිරසාර රැකියා පරිසරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇගයීමට ලක්වී තිබේ.

මහේෂ් අමලියන් මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ඇඟලූම් කර්මාන්තයේ, රටේ සහ සමස්ත ලෝකයේ තිරසාරත්වයට උරදෙමින්, අනාගත පරපුර වෙනුවෙන් තිරසාර හෙට දිනයක් උදාකර දීමට MAS හෝල්ඩින්ස් සමාගම කැපවී සිටී.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here