පොලිසියෙන් අල්ලාගත් ගුවන්තොටේ ප්‍රේම කතා

ප්‍රේම කතා කියූ පමණින් ඔබට තරුණයෙක් සහ තරුණියක් අතර ප්‍රේමයක් සිහියට එන්නට ඇති.

කෙසේ වෙතත් දිල්ලි ගුවන් තොටුපොලෙන් ඇසුණු ප්‍රථම ප්‍රේම කතාව, තම මව බැලීමට පැමිණි පුතෙකුගේ කතාවයි. දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයෙකු ගුවන්තොටුපොල ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන තිබේ. පසුව හෙළි වුයේ ඔහු ව්‍යාජ ලෙස පරිගණකයෙන් සැකසු ගුවන් ටිකට් පතක් පෙන්වා ගුවන් තොටුපොලට ඇතුල් වී ඇති බවයි.

ඔහුගේ මව ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ අගනුවර වන ශ්‍රීනගර් වෙත පියාසර කිරීමට දිල්ලි ගුවන් තොටුපොලට පැමිණ තිබී ඇත. තම මව බැලීම සඳහා මෙම පුද්ගලයා මෙලෙස ව්‍යාජ ටිකට් පතක් රැගෙන ගුවන්තොටුපොල පර්යන්තයට නීති විරෝධී ලෙස ඇතුළුවී ඇත. ඔහුට විරුද්ධව නීතිමය චෝදනා ගොනු වන බව වාර්තා වේ.

එමෙන්ම ගුවන් තොටුපොල පොලිසිය විසින් තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවලංගු කළ ටිකට් පතක් පෙන්වා ගුවන් තොටුපොලට ඇතුල්වීම හේතුවෙනි. ඉන්දීය සම්භවයක් ඇති ඇති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා, තම බිරිඳ සහ පුත්‍රයා බැලීමට මෙලෙස නීති විරෝධී ලෙස ගුවන් තොටුපොල ට ඇතුල් වී ඇත.

ඔහුව ද දිල්ලි නගර පොලිසියට බාර දී ඇති අතර චෝදනා ගොනු කෙරෙන බව සඳහන් ය. කෙසේ වෙතත් මෙම සිද්ධීන් දෙකේදීම චූදිතයන් අපරාධයක් කිරීමේ අරමුණින් තොරව කටයුතු කර ඇති නිසා අධිකරණයේ දී සහනදායි තීන්දුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.