> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# බියර් ප්‍රමිතිය, බදු ගැටලු හා ගොවීන්ට වන බලපෑම් සම්බන්ධයෙන් මත්පැන් බලපත්‍රලාභීන්ගෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකුගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්
- URL: https://www.citizen.lk/liquor-licensees-and-social-activist-file-writ-application-over-beer-standards-tax-concerns-monopoly-practices-and-impact-on-local-farmers/
- Published: 2026-06-12T06:09:35.000Z
- Updated: 2026-06-12T06:09:35.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

June 12 (Citizen News) - ශ්‍රී ලංකාවේ බියර් නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ පවතින බව කියන බරපතල නියාමන අසාර්ථකතා, බදු අක්‍රමිකතා, ඒකාධිකාරී ක්‍රියාකාරකම් සහ දේශීය ගොවීන්ට සිදු වන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් නෛතික මැදිහත්වීමක් ඉල්ලා මත්පැන් බලපත්‍රලාභීන් දෙදෙනෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව, පාරිභෝගික කටයුතු අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, රජයේ රස පරීක්ෂකවරයා, නීතිපතිවරයා සහ මෙරට ප්‍රමුඛ පෙළේ බියර් නිෂ්පාදන සමාගම් කිහිපයක් නම් කර ඇත.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ ඩොන් ග්‍රෙගරි අජිත් උඩුගම, චාමින්ද කුරුප්පුආරච්චි සහ එම්.එම්. සංජය මහවත්ත විසිනි. බියර් නිෂ්පාදනය හා ගුණාත්මකභාවය සම්බන්ධ නෛතික ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ අසාර්ථකත්වය, නීතිවිරෝධී බෙදා හැරීම් ක්‍රමවේද, බදු මග හැරීම් සහ වෙළඳපොළේ ඒකාධිකාරී තත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳව මෙම පෙත්සමෙන් චෝදනා කර ඇත.

පෙත්සමට අනුව බියර් නිෂ්පාදනයේ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිත කිරීම ප්‍රධාන ගැටලුවක් ලෙස ඉස්මතු කර ඇත. සුරාබදු ආඥා පනත අනුව බියර් යනු මෝල්ට් භාවිතයෙන් පැසවූ මත්පැන් වර්ගයක් ලෙස අර්ථ දක්වා ඇති අතර ඇතැම් නිෂ්පාදකයන් සහල් ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් විශාල ප්‍රමාණයක් සීනි එකතු කිරීම නෛතික හා තත්ත්ව ප්‍රමිතිවලට පටහැනි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

එමෙන්ම ආනයනික හෝ විකල්ප අමුද්‍රව්‍ය භාවිතය වැඩි වීම නිසා මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ සාම්ප්‍රදායික කෘෂිකාර්මික භෝග වගා කරන දේශීය ගොවීන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවද පෙත්සමේ සඳහන් වේ. දේශීයව සපයන අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම පහළ යාම හේතුවෙන් ගොවීන්ගේ ආදායම් මාර්ග අඩාල වී ඇති අතර දැනටමත් ආර්ථික පීඩනයකට ලක් වී සිටින ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රජාව තව දුරටත් අසරණ තත්ත්වයට පත් වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

වෙළඳපොළ තුළ ප්‍රබල සමාගම් කිහිපයක් ආධිපත්‍යය පවත්වා ගෙන යාම හේතුවෙන් කුඩා පරිමාණ සැපැයුම්කරුවන්ට සහ නිෂ්පාදකයන්ට අවස්ථා අහිමි වී ඇති බවත්, එමඟින් කර්මාන්තය තුළ අසාධාරණ තරගකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

බියර් නිෂ්පාදන ප්‍රමිති නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පාරිභෝගික සුරක්ෂිතතාවට තර්ජනයක් ඇති විය හැකි බවත්, ප්‍රමිතිවලට අනුකූල නොවන නිෂ්පාදන වෙළඳපොළට නිකුත් වීම මගින් මහජන සෞඛ්‍ය පද්ධතියට අමතර බරක් එල්ල විය හැකි බවත් පෙත්සම්කරුවෝ අවධාරණය කරති.

නීතිවිරෝධී බෙදා හැරීම් ක්‍රමවේද සම්බන්ධයෙන්ද මෙම පෙත්සමෙන් චෝදනා කර ඇති අතර නිසි මත්පැන් බලපත්‍ර නොමැති තෙවන පාර්ශ්වීය නියෝජිතන් හරහා බියර් බෙදා හැරීම සිදු වන බවත්, එම ක්‍රියාවලිය හරහා සුරා බදු, එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වැනි බදු මග හැරීම් සිදු විය හැකි බවත් පෙන්වා දී ඇත.

එමෙන්ම ඇතැම් බියර් නිෂ්පාදකයන් සිල්ලර මත්පැන් බලපත්‍රලාභීන්ට දෙන දිරි ගැන්වීම් සහ මූල්‍ය වාසි හේතුවෙන් ඒකාධිකාරී වෙළඳපොළ තත්ත්වයක් ඇති වී ඇති බවද පෙත්සමේ සඳහන් වේ. ඇතැම් සිල්ලර වෙළෙඳසැල් එක් සමාගමක නිෂ්පාදන පමණක් අලෙවි කිරීමෙන් ආර්ථික වශයෙන් බලපෑම් ඇති වන බවත්, තරගකාරීත්වය හා පාරිභෝගික තේරීම් සීමා වන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මෙම පෙත්සම මගින් සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කරමින් බියර් නිෂ්පාදනය කිරීම වළක්වන රිට් නියෝග, බියර් සඳහා අනිවාර්ය SLSI ප්‍රමිති හඳුන්වා දීමට අදාළ බලධාරීන්ට නියෝග කිරීම, නීතිවිරෝධී බෙදා හැරීම් පිළිබඳ විමර්ශන පැවැත්වීම සහ බියර් කර්මාන්තයේ ඒකාධිකාරී ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු සහන ඉල්ලා ඇත.

එමෙන්ම නඩුවේ අවසන් තීන්දුව දෙන තෙක් සහල් සහ සීනි භාවිතයෙන් බියර් නිෂ්පාදනයට දී ඇති අවසර අත්හිටුවන අතුරු නියෝගයක්ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.