ලසිත් මාලිංගට අද තීරණාත්මක තරඟයක්.(VIDEO)

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරඟය නැවතත් වේල්සයේ කාඩිෆ් නුවර දී අද (04) පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ ඉදිරියට පැමිණෙන නවක කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානයටයි.

පසුගිය වසරේ ආසියානු කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකාව අවසන් වටයෙන් ඉවත් කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

එමෙන්ම, පසුගිය ලෝක කුසලාන තරඟාවලියට පසු ඔවුන් ශ්‍රී ලංකාවට වඩා එක්දින ජයග්‍රහණ ලබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දුයවන්නා වන ලසිත් මාලිංගට ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (04දා) පැවැත්වෙන තරඟයේදී ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභී පන්දුයවන්නන් අතර ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවී තිබෙනවා. මාලිංග මේ වන විට ලෝක කුසලාන ඉනිම් 22කදී කඩුලු 43ක් දවාගෙන මෙම සටහනේ 07 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මෙම සටහනේ පස්වැනි හා හයවැනි ස්ථානයේ රැඳී සිටින්නේ කඩුලු 44 බැගින් දවා ගත් හිටපු ඉන්දීය වේග පන්දු යවන්නන් දෙදෙනෙකුවන සහීර් ඛාන් හා ජවගල් ශ්‍රීනාත්. මාලිංග අද තරඟයේදී කඩුලු 02ක් දවා ගතහොත් ඔහුට මෙම සටහනේ 05 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාවක් හිමිවෙන්නේ කඩුලු 45 සීමාවට පැමිණෙමින්.

මෙම සටහනේ පෙරමුණ ඔස්ට්‍රේලියාවේ ඉනිම් 39කදී කඩුලු 71ක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැග්‍රාත්ට හිමි වී ඇති අතර, ඉනිම 39කදී කඩුලු 68ක් දවා ගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට මෙහි දෙවැනි ස්ථානය හිමි වී තිබෙනවා. ඉනිම 36කදී කඩුලු 55ක් දවා ගත් පාකිස්තානයේ වසීම් අක්‍රම් මෙහි තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් සුපිරි වේග පන්දු යවන්නෙකු වන චමින්ද වාස් මෙහි සිව්වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඉනිම 31කදී කඩුලු 49ක් දවා ගනිමින්.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා පිළේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, කාඩිෆ් හි ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ, දක්ෂතා දැක්වීමට නොහැකිවීම පිළිබදව සෑම ක්‍රීඩකයෙකුට ලැජ්ජාවක් ඇත්නම් අද තරඟය අභියෝගයක් නොවන බවයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න