කොච්චිකඩේ බෝම්බකරුගේ DNA සැසදෙයි – තවත් තොරතුරු රැසක් එළියට.

0
742

කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාඩ් නමැත්තාගේ DNA වාර්තා ඔහුගේ දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමඟ සැසදෙන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ වාර්තාවක් මගින් දැනුම් දී තිබෙනවා.

එසේම මරණකරුගේ හිස කොටස තම පුත‍්‍රයාගේ බවට අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී තමන් හඳුනාගත් බව අලව්දීන් අහමඩ් මුආත් නැමැත්තාගේ දෙමාපියන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඉදිරියේ අද ප‍්‍රකාශ කළා.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

මේ අතර අලහුදීන් අහමඩ් මුවාඩ් නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලබා සිටි අයෙකු බව අද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.

සාක්ෂි ලබා දෙමින් ඔහුගේ මව කියා සිටියේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහමඩ් මුවාඩ් මිය යන විට ඔහුගේ බිරිඳ ගැබිණියක බවයි. පසුගිය 05 වන දා ඇය ගැහැණු දරුවෙකු ප්‍රසූත කළ බව ද අධිකරණය හමුවේ ඇය කියා සිටියා.

දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලේ සිව් වැන්නා බෝම්බකරු බව ද අධිකරණයේදී අනාවරණය වුණා.

පසුගිය අප්‍රේල් මස 14 වන දා බෝම්බකරු වන අහමඩ් මුවාඩ් මට්ටක්කුලියේ පිහිටි නිවසට පැමිණ ඇති බවත් සිය වැඩිමහල් සහෝදරයාට ලිපියක් ලියා තබා ඇති බව කියා සිටි ඔහුගේ මව තම පුතු රැකියාවක් නොකළ අයෙකු බැවින් පියා මාසයකට ඔහුට රුපියල් 30000ක පමණ මුදලක් ලබා දුන් බවත් අධිකරණය හමුවේ සඳහන් කළා.

22 හැවිරිදි ඔහු නීති විද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබා මේ වසරේදී නීතී විද්‍යාලයට ඇතුළත් වීමට සිටි බව ඔහුගේ පියා අද අධිකරණය හමුවේ කියා සිටියා.

බෝම්බ ප්‍රහාරය එල්ල වූ දින අහමඩ් මුවාඩ් වන තම ස්වාමි පුර්ෂයා වට්ස්ඇප් මගින් තමාට ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් මඩකලපුවේ සිටින අතර පෙරවරු 9.30ට පෙර කොළඹට යන බවට දැනුවත් කළ බවත් බිරිඳ ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ, ප්‍රහාරයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඔහුගේ හිස කොටසක් පෙන්වූ බවත් එය තම ස්වාමි පුර්ෂයාගේ බවට හඳුනා ගත් බවයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here