කරුණානිධිගේ දියණියගේ මෙරට සංචාරයේ අරමුණු

තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය (දිවංගත) මුත්තුවේල් කරුණානිධිගේ දියණිය වන ඉන්දීය ලොක් සභා පාර්ලිමේන්තු මන්ත්‍රිනී කනිමෝසි කරුණානිධි මේ වන විට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඇය පසුගිය (12) දින ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි හමුවී ඇති අතර එහිදී මෙරටදී අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

පෝක් සමුද්‍ර සන්ධියේ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වන ඉන්දීය ධීවරයින් සිය ගණනක් වාර්ෂිකව නාවික හමුදා මුර යාත්‍රා මගින් අත්අඩංගුවට ගනු ලබන අතර, විටින් විට ඔවුන් මුදාහැරීම සිදු වේ. තමිල්නාඩුව මෙම සිද්ධීන් අර්ථ නිරුපනය කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයන්ට ප්‍රහාර එල්ල කරන ලෙසයි. එවැනි සිදුවීම් කීපයක් මේ වසරේ පවා වාර්තා විය.

තමිල්නාඩු දේශපාලනඥවරිය ඊයේ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් ය.

කනිමෝසි කරුණානිධි දිවයිනට පැමිණ ඇත්තේ අමාත්‍ය රවුෆ් හකීම්ගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගි වීම සඳහාය.