එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගැන හෙළ උරුමයේ අවධානය

එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදව මේ දක්වා තීරණයක් කිරීමට අපොහොසත්වී තිබීම හා ඒ සම්බන්ධයෙන් පැතිරී යන කටකතා සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ අවධානය යොමුවී ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී එය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සිදුකරන බවට පැතිරී යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුවී ඇති බවයි ජාතික හෙළ උරුමය සිය නිවේදනයෙන් සඳහන් කර සිටින්නේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් බවත් එහි වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය නොවිම සහ එම කෘත්‍යාධිකාරී මණ්ඩලය කෙතරම් දුරට ස්වාධිනද යන්න කරුණ ගැන සැකයක් පවතින බව ජාතික හෙළ උරුමය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව පවසන ජාතික හෙළ උරුමය පෙරමුණක් වශයෙන් එය නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගිත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා නම් කළ යුතු බවසඳහන් කර සිටියි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම සුරක්ෂිත විය යුතු බවත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්ෂ සහභාගිත්වයෙන් සිදුවිය යුතු බව පෙන්වා දෙයි. ඒ හේතුවෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරා පත් කර ගත හැකි හොදම ක්‍රමවේදය වන්නේ එය එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමට භාරදීම බවයි මෙහිදී ජාතික හෙළ උරුමය සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පෙරමුණට ජන්දය දුන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ කැමැත්ත විමසීමට ප්‍රායෝගිකව නොහැකි බැවින් ඒ සඳහා හොදම විසදුම වන්නේ එම වගකීම මහජන නියෝජිතයින්ට පැවරීම යුතු බව පවසන ජාතික හෙළ උරුමය, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ සිටින බැවින් එම මන්ත්‍රි කණ්ඩායම හරහා ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම හොදම ක්‍රමවේදය බවයි මෙහිදී සිය නිවේදනය මගින් සඳහන් කර සිටින්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න