ආදරය කරන්න කෙනෙක් හොයාගන්න FACEBOOK වෙනස් වෙයි

ෆේස්බුක් තම සේවාවට නව විශේෂාංගයක් එක් කර තිබෙන බව වාර්තා වේ. ෆේස්බුක් හරහා තමන්ගේ කැමැත්ත අනුව සහකාරයෙක් හෝ සහකාරියක් සොයාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව මෙම නව අංගය එකතු කර තිබේ. දැනට මෙම සේවාව ඇමෙරිකාව ඉලක්ක කර නිකුත් කර තිබේ.

ඉදිරියේ දී මෙම පහසුකම ලොව පුරා පරිශීලකයන්ට ලැබෙනු ඇත. මේ යටතේ තමන්ගේ පෞද්ගලික තොරතුරු, ලිංගික රුචිකත්වය ආදිය තමන්ට අවශ්‍ය පිරිස සමඟ පමණක් බෙදාගත හැකියි. එමෙන්ම ඒ සඳහා ෆේස්බුක් තුලම වෙනම පරිශීලක ගිණුමක් අරඹා ආදර වන්තයෙකු/ආදරවන්තියෙකු සොයාගැනීමට අවශ්‍ය අවකාශයට පිවිසිය යුතු වේ. අවශ්‍ය නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුම ද මීට සබැඳියක් සේ එකතු කර භාවිතා කළ හැකියි.

කෙසේ වෙතත් ෆේස්බුක් සමාගමට එල්ලවූ පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු අනාරක්ෂිත කිරීමේ චෝදනා ආදිය සැලකිල්ලට ගෙන සහ ෆේස්බුක් තම පරිශීලක තොරතුරු අනුව ප්‍රචාරණ දැන්වීම් එවුම වැනි කරුණු සැලකිල්ලට ගෙන ඇතැම් විචාරකයන් මෙම යෙදුම ගැන අවිශ්වාසය පල කරයි. කෙසේ වෙතත් ෆේස්බුක් සමාගම පෙර වැරදි නැවත සිදුවීමට ඉඩකඩ නොදෙන බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ද ෆේස්බුක් ඔස්සේ ආදරය කර සාර්ථක කරගත් මෙන්ම වරද්දා ගත් බොහෝ දෙනෙකු සිටීයි. එමෙන්ම වඩා නිදහස් දෘෂ්ටියකින් ආදරය විවාහය සහ ලිංගිකත්වය ගැන බලන්නට අද සමාජය බලන්නට පුරුදු කරන්නට ෆේස්බුක් වැනි සමාජ ජාල යෙදුම් හේතුව විය.

පිහිය අඹ කැපීම සඳහා මෙන්ම පුද්ගලයෙකුගේ බෙල්ල කැපීමට පවා යොදාගත හැකියි. එමෙන්ම ෆේස්බුක් වැනි නවීන යෙදුම් ඒවා භාවිතා කරන ආකාරය අනුව ඒවායෙන් ලැබිය හැකි හොඳ හෝ නරක ප්‍රතිඵල තීරණය වනු ඇත.