Apple සමාගම 2019 වෙනුවෙන් හඳුන්වාදෙන අලුත්ම දේවල් මෙන්න. (PHOTOS/VIDEO)

    Apple සමාගමේ devices සඳහා වන software වල සිදුවන වෙනස්කම් එළිදැක්වීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන WWDC event එකේ 2019 වර්ෂය සඳහා වූ event එක පසුගියදා පැවැත්වුණා.

    iOS 13

    Apple සමාගම විසින් ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන iOS 13 සංස්කරණය මෙහිදී එළිදැක්වූ අතර එහි කැපී පෙනෙන පහසුකමක් ලෙස Dark Mode පහසුකම හඳුන්වාදීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

    මීට අමතරව Music app එකට ගීතය සමඟින් sync වන lyrics පහසුකම එකතු කිරීම, Memoji වල වැඩිදියුණු කිරීමක් සිදු කිරීම, Swipable typing පහසුකම keyboard එකට එකතු කිරීම වැනි system apps වල සුළු වැඩිදියුණු කිරීම් විශාල සංඛ්‍යාවක් සිදු කිරීමට ද කටයුතු කර තිබුණා.

    එමෙන්ම Apple Maps සේවාව වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති අතර Street view මගින් අංශක 360ක view එකක් දැකගැනීමේ හැකියාව ද එකතු කර ඇත.

    Apple device පරිශීලනය කරන්නන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය ‍යොමු කර තිබූ අතර, යම්කිසි app එකකට function එකක් භාවිතා කිරීම අවශ්‍යය වන තුරු ඊට අදාල permission ලබා නොදීමටත්, අදාල අවස්ථාවේ සිට එම function එක භාවිතා කරන සෑම අවස්ථාවකදීම පරිශීලකයාගේ අවසරය ලබා ලබාගත යුතුය යන option එකත් එකතු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    මීට අමතරව Apple සමාගම විසින් අලුතින් හඳුන්වා දෙන Sign in with Apple පහසුකම හරහා apps භාවිතා කිරීමේදී පරිශීලකයාගේ තොරතුරු වෙනත් සේවාවන් වලට ගලා යෑම අවහිර කර තිබෙනවා.

    මේ Sign in with Apple පහසුකම ඉදිරියේදී login එකක් සහිත සෑම app එකකටම අනිවාර්යය කෙරෙනු ඇති අතර මේ පහසුකම ඇති apps වලට පිවිසීමට Face ID හෝ Touch ID වැනි authentication ක්‍රම භාවිතා කිරීමේ හැකියාව ද පවතිනවා.

    මීට අමතරව වෙනත් සේවාවකින් ඔබගේ Email address එක ඉල්ලා සිටින විට ඔබගේ සැබෑ email ලිපිනය එයට ලබා නොදී Apple සමාගම විසින් ඒ සඳහාම අලුතින් නිර්මාණය කරනු ලැබූ email ලිපිනයක් භාවිතා කිරීමේ හැකියාව ද මේ සමඟින් අන්තර්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

    මේ අලුතින් නිර්මාණය වන email address එකට ලැබෙන සියළුම email පණිවිඩ ඔබගේ සැබෑ email ලිපිනයට forward කිරීමට Apple සමාගම කටයුතු කරන අතර, යම්කිසි සේවාවකින් එන email නැවැත්වීමට අවශ්‍යය නම් අදාල email ලිපිනය මකා දැමිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

    iOS 13 සංස්කරණය iPhone 6s හා ඊට පසුව නිකුත් වුණු devices සඳහා ජුනි මස 3 වැනිදා සිට developer වරුන් හට නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙන අතර මේ update එක සාමාන්‍යය iPhone පරිශීලකයන් හට ලබා දීමට තව මසක් කල් යන බවයි Apple සමාගම ප්‍රකාශ කළේ.

    iPadOS

    මෙවර WWDC event එක අතරතුරදී Apple සමාගම විසින් නිවේදනය කරනු ලැබූ පරිදි, iPad එක සඳහා ලබා දෙන operating system එක තවදුරටත් iOS නොවන අතර එය iPadOS නමින් හඳුන්වනු ලබනවා.

    එමෙන්ම මේ අලුත් OS එක හරහා multi-tasking වලට අදාල හැකියාවන් මෙන්ම iPad එකට ආවේණික පහසුකම් රාශියක් ලබාදීමට Apple සමාගම තීරණය කර තිබෙන අතර iPad එකට USB Flash drive සම්බන්ධ කිරීමේ හැකියාවද ලබා දී තිබෙනවා.

    macOS

    Apple සමාගම විසින් ඔවුන්ගේ macOS එකේ අලුත්ම සංස්කරණය වන macOS Catalina සංස්කරණය එළිදැක්වීමට කටයුතු කළ අතර මීට කලින් දැනගන්නට ලැබුණු ලෙසම iTunes වෙනුවට Music, Podcasts සහ TV යනුවෙන් වෙන වෙනම apps ත්‍රිත්වයක් හඳුන්වාදීමට මොවුන් කටයුතු කළා.

    අලුත් macOS එක සමඟින් තමන්ගේ mac පරිගණකය හා iPad එක සම්බන්ධ කර එය secondary screen එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙන අතර MacBook සඳහා iPad එක touchscreen එකක් ලෙස ද භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

    මීට අමතරව macOS එක සහ iOS එක ළඟදීම කටහඬ මගින් පාලනය කළ හැකිවනු ඇති බවත් අදාල මෙහෙයුම් පද්ධතිය තුළ සියළුම කටයුතු කටහඬ පමණක් භාවිතා කර සිදු කිරීමේ හැකියාව ලබා දෙන බවත් Apple සමාගම වැඩිදුරටත් කියා සිටියා.

    මෙතෙක් iOS වලට පමණක් සීමා වී තිබුණු Screen Time පහසුකම මේ අලුත් macOS සංස්කරණය හරහා පරිගණක වලටත් ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම Project Catalyst නම් වූ ව්‍යාපෘතියක් හරහා iPad apps, macOS එකට පරිවර්තනය කිරීමේ හැකියාව සහිත framework එකක් ලබා දී ඇති අතර අනාගතයේදී iPad සඳහා වන apps වලින් විශාල ප්‍රමාණයක් පරිගණකය භාවිතා කරන විට ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

    Mac Pro

    WWDC event එක මුලින් සඳහන් කළ ආකාරයට Software සම්බන්ධව වන event එකක් වුවත් Apple සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම Mac Pro පරිගණකය මෙහිදී හඳුන්වාදීමට කටයුතු කළා.

    2013 වර්ෂයෙන් පසුව ඔවුන්ගේ Mac පරිගණක මාලාවේ වෙනසක් සිදු කිරීමට මේ දක්වා කටයුතු කර නොමැති අතර මේ අලුතින් හඳුන්වාදුන් Mac Pro පරිගණකය cores 28ක් දක්වා upgrade කළ හැකි Intel Xeon processor එකක් සහ RAM එක 1.5TB දක්වා upgrade කළ හැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

    මෙහි සාමාන්‍යය මාදිලියේ AMD Radeon Pro 580X හෝ Radeon Pro Vega II GPU එකක් අන්තර්ගත වන අතර අවශ්‍යය නම් මේ ආකාරයේ Radeon Pro Vega II GPU දෙකක් දක්වා upgrade කිරීමේ හැකියාව පවතිනවා.

    මේ Apple Mac Pro පරිගණකය හරහා 8K ප්‍රමාණයේ resolution එකකින් සමන්විත videos තුනක් එක වර stream කිරීමේ හැකියාව ඇති අතර එසේ නොමැති නම් 4K stream 12ක් දක්වා එකවර සිදු කිරීමේ හැකියාව ද තිබෙනවා.

    මීට අමතරව මේ පරිගණයක සමඟින් අලුතින් හඳුන්වාදෙනු ලැබූ අඟල් 32ක ප්‍රමාණයේ 6K display එකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර මෙය Pro Display XDR ලෙස හඳුන්වා දෙනවා.

    මේ අලුත් Mac Pro පරිගණකය හා Pro Display XDR display එක එකතුව ගත් විට Apple සමාගම විසින් මේ හා සමාන කිසිඳු tool එකක් වෘත්තීමය කටයුතු සඳහා Apple devices භාවිතා කරනු ලබන/මිලදීගනු ලබන ගණුදෙනුකරුවන් හට මින් පෙර ලබා දී නැහැ.

    core 8 කින් සමන්විත Intel Xeon processor එකක්, 32GB RAM එකක් සහ 512GB SSD එකක් සහිතව මේ Mac Pro පරිගණකය මිලදීගන්නේ නම් එහි මිළ ඇමෙරිකානු ඩොලර් 5,999ක් වන අතර Pro Display XDR එක සඳහා තවත් ඩොලර් 4,999ක් ගෙවිය යුතු වෙනවා.

    මේ Pro Display XDR display එක සඳහා වන stand එක monitor එක සමඟ නොමිලයේ නොලැබෙන අතර, එය ලබා ගැනීමට අතිරේකව තවත් ඩොලර් 999ක් ගෙවිය යුතුයි.

    tvOS

    Apple TV සඳහා ලබාදෙන tvOS එකෙහි ද විවිධ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට Apple සමාගම කටයුතු කර තිබූ අතර විශේෂයෙන්ම මේ Apple TV හරහා Xbox One සහ PlayStation 4 සඳහා සහාය දැක්වීම කාගේත් අවධානයට යොමු වුණා.

    මීට අමතරව tvOS එකේ home page එක වැඩිදියුණු කිරීමටත්, පරිශීලකයන් කිහිපදෙනෙකු (multi-user) හට භාවිතා කිරීමේ හැකියාව ලබා දීමත්, එසේ භාවිතා කරන විට අදාල පරිශිලකයා කැමති ආකාරයේ recommendations ලබා දීමටත්, iOS 13 වල මෙන් ම music play කරන අතරතුරදී live lyrics පහසුකම ලබා දීමටත් කටයුතු කර තිබෙනවා.

    watchOS

    Apple Watch සඳහා වන watchOS එකේ 6 වැනි සංස්කරණය හඳුන්වා දුන් අතර watch එක හරහා ම ඊට අදාල apps install කරගැනීමේ හැකියාව ලබා දීමට ඊට වෙන්වූ App Store එකක් හඳුන්වාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

    Siri හරහා කටහඬ භාවිතා කරමින් එම පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙන අතර calculator app එක, voice memo app එක ඇතුළු තවත් system apps කිහිපයක් ම watch එක හරහා භාවිතා කිරීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

    මීට අමතරව Health & Fitness සඳහා ද update එකක් ඇතුලත් කර ඇති අතර දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා තොරතුරු භාවිතා කරමින් පසුගිය මාස කිහිපය හෝ අවුරුද්ද ඇතුලත අදාල පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වය වෙනස් වූ අයුරු දැකගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

    එමෙන්ම යම්කිසි තැනකට ගිය පසු එහි ඇති ශබ්දය කනට අහිතකර තත්ත්වයක පවතින්නේ නම්, ඒ පිළිබඳව පරිශීලකයා දැනුවත් කිරීමේ හැකියාව ද watchOS එකට මෙන්ම iOS වල තිබෙන Health app එකටත් අන්තර්ගත කිරීමට Apple සමාගම කටයුතු කර කළා.