ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දෙවැනි ආර්ථික ප්‍රහාරයක් අභියස?

සුප්‍රකට තෝමස් කූක් සමාගම දැවැන්ත කඩාවැටීමක් අභියස බවට ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂණයන් පෙන්වා දෙනවා.

පවුම් මිලියන 200ක් වහාම ගෙවන ලෙස ඔවුන්ගේ බැංකු ණයකරුවන් විසින් කළ දැනුම් දීම් අනුව මේ වන විට සමාගමේ දැනට වෙන් කිරීම් කළ ගනුදෙනු කරුවන් සහ දැනට සංචාර වෙත ගොස් සිටින සංචාරකයන් ද දැඩි කැළඹීමක සිටියි.

දැනට සංචාරකයන් 15,000 සමාගම සමඟ විදෙස් රටවල සිටියි. 1841 දී ආරම්භ කළ බ්‍රිතාන්‍ය සංචාරක ආයතනයක් වන මෙම සමාගම දැනට වසරකට පවුම් මිලියන 10,000කට ආසන්න ආදායමක් වාර්තා කරයි. එහෙත් ඔවුන්ගේ ශුද්ධ ලාභය ලෙස 2018 වසරේ වාර්තා වුයේ පවුම් මිලියන 163ක් පමණයි. කෙසේ වෙතත් ඔවුන් 2018 වසරේ දී 2011න පසු වාර්තා කල ඉහලම ආදායම වාර්තා කර ඇත.

මේ වසරේ මද භාගයේ දී ඉන්දියාවේ ප්‍රකට පෞද්ගලික ගුවන් සමාගමක් වූ ජෙට් එයාර් වේස් සමාගම ද බිඳ වැටුණා.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් අතරින් කොටසක් තෝමස් කූක් සමාගම හරහා පැමිණෙන අතර විශේෂයෙන්ම ඉහළ මුදලක් රට තුල වියදම් කරන සංචාරකයන් බොහෝමයක් ඔවුන් හරහා ලංකාවට පැමිණෙයි. එමෙන්ම ඇතැම් දේශීය සමාගම් වලට මෙහෙයවීමට ලැබෙන සංචාරක පැකේජ ඍජුව වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන්නේ ද ඔවුන් වේ. එමෙන්ම ඔවුන් සතුව ප්‍රමුඛ පෙලේ හෝටල් වෙන් කිරීමේ වෙබ් අඩවි ඇතුළු ව්‍යාපාර ඇතුළු මෙරට හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් ව්‍යාපාර ද ඔවුන් සතුයි.

ඔවුන්ගේ බිඳ වැටීමක් සිදු වුවහොත් පොදුවේ සියලු සංචාරක කර්මාන්තය මත නඩත්තු වන රටවල් රැසකට බලපෑම් සිදු වන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම ඉතා ඉහළ මට්ටමින් ලැබෙන බව සැලකීමට හේතු වේ.

ඊට හේතුව නම් මෙම වසරේ පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය තුළ සංචාරකයන් ඉලක්ක කරමින් සිදුවූ ප්‍රහාර සියල්ලම එල්ල වුයේ ඉහළ ආදායම් මට්ටමක් ඇති සංචාරකයන් පැමිණෙන ස්ථාන ඉලක්ක කරගෙනයි. ඒ හරහා ද විශාල බලපෑමක් එල්ලවූයේ විශාල වශයෙන් රටට මුදල් ගලා එන මට්ටමේ ව්‍යාපාර වලටයි.

පාස්කු ඉරුදින ට පසු ලංකාවේ රැඳී සිටි සංචාරකයන් සමඟ සාකච්ඡා කළ බොහෝවිට ඔවුන් පැවසුවේ ප්‍රධාන නගර සහ ප්‍රධාන පෙළේ හෝටල් මගහරිමින් තමන් ගමන් කිරීමට තීරණය කළ බවයි. ඒ අනුව විශේෂයෙන්ම වියදම ගැන එතරම් කල්පනා නොකරන එනම් ඉහළ වියදම් කිරීමේ හැකියවක් ඇති (ආර්ථික ශක්‍යතාවක් ඇති) සංචාරකයන්ගේ ආකර්ශනයෙන් ශ්‍රී ලංකාව ගිලිහි යාමේ අවදානමක් තිබිණි.

මේ තත්වය යටතේ තෝමස් කූක් වැනි සියවසකට වඩා පැරණි සංචාරක ආයතනයක මෙහෙයුම් මෙරටට නොලැබී යාම ඉහළ ආර්ථික හැකියාවක් ඇති සංචාරකයන් මෙරටට පැමිණීමට ඇති ඉඩ කඩ තවදුරටත් අවම කරනු ඇත.

එබැවින් ඉදිරියේ පැමිණෙන කාලය සංචාරක ක්ෂේත්‍රයට එතරම් සුබ නොවීමට මෙම කඩා වැටීම සිදුවුවහොත් තවත් ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීමට හැකිවනු නොඅනුමානයි.

Sources

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න