> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අහස ජයගත් පියාසර උරුමයේ හෘදස්පන්දනය: අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ 75 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරෙයි
- URL: https://www.citizen.lk/heartbeat-of-sky-conquering-flying-heritage-75th-anniversary-of-no-01-flying-training-wing/
- Published: 2026-09-02T07:13:32.000Z
- Updated: 2026-09-02T07:26:20.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්, විශේෂාංග

September 02 (Citizen News) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් පියාසර උරුමයේ හෘදස්පන්දනය බඳු, "ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය" ලෙස විරුදාවලිය ලත් අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය සිය 75 වන සංවත්සරය ඊයේ (01) චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේදී අතිඋත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය.

දශක හතහමාරක දීර්ඝ ඉතිහාසයක් පුරා හමුදා පියාසර පුහුණු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සනාථ කරමින් සිදු කළ අසමසම මෙහෙවර මෙහිදී මහත් අභිමානයෙන් සිහිපත් කෙරිණි.

1951 සැප්තැම්බර් 01 වන දින රාජකීය ගුවන් හමුදාවේ ෆ්ලයින් ලෙෆ්ටිනන්ට් නොර්මන් ලූෂ්ගේ නායකත්වයෙන් කටුනායකදී ආරම්භ වූ මෙම පක්ෂාංගය, පසුකාලීනව හමුදා පියාසර පුහුණුවීම් සඳහා වඩාත් සුදුසු පරිසරයක් සහිත චීන වරාය පරිශ්‍රය වෙත ස්ථාපිත කෙරිණි. මූලික පියාසර පුහුණුවෙන් ඇරඹි මෙම ගමන කාලයත් සමඟ මෙහෙයුම් අවශ්‍යතාවන්ට අනුකූලව අඛණ්ඩව යාවත්කාලීන වූ අතර, අද වන විට එය PT-6 සහ සෙස්නා-150 වැනි යානා බලඝණයකින් සන්නද්ධව, මූලික සහ මධ්‍යම මට්ටමේ පියාසර පුහුණුවීම් ලබා දෙන ප්‍රමුඛතම ආයතනය ලෙස ක්‍රියාත්මක වේ.

![](https://www.citizen.lk/content/images/2026/09/b6199408-89c4-4762-a37c-bb75e6d59799.jpg)

***(මෙම 75 වන සංවත්සරයට සමගාමීව පැවැත් වූ ගුවන් යානා සහ ඒ හා සබැඳි නවීන තාක්ෂණය පිළිබඳ විශේෂ වැඩසටහනක්)**

මෙම 75 වන සංවත්සරයට සමගාමීව ප්‍රජා සත්කාර සහ සමාජ සේවා වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබූ අතර, ප්‍රධාන සංවත්සර උත්සවය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඉර්ෂාඩ් මුතාලිෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සේවා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ට ද ආරාධනා කර තිබූ අතර, ඔවුන් වෙනුවෙන් ගුවන් යානා සහ ඒ හා සබැඳි නවීන තාක්ෂණය පිළිබඳ විශේෂ වැඩසටහනක් ද ඉදිරිපත් කෙරිණි.

![](https://www.citizen.lk/content/images/2026/09/image.png)

***(මෙම 75 වන සංවත්සරයට සමගාමීව පැවැත් වූ ප්‍රජා සත්කාර සහ සමාජ සේවා වැඩසටහනක්)**

දශක හතකට වැඩි කාලයක් මුළුල්ලේ මව්බිම වෙනුවෙන් වෘත්තීය මට්ටමේ දක්ෂ, විනයගරුක සහ මෙහෙයුම් හැකියාවෙන් පූරණය වූ ගුවන් නියමුවන් පරම්පරාවක් දායාද කළ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය, සිය අභිමානවත් උරුමය ඉදිරියටත් සුරකිමින් ලක් ගුවන් ගැබ සුරක්ෂිත කිරීමේ උතුම් මෙහෙවරට සැමදා කැපවී සිටියි.