ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීම නාටකයක් බව UBER හෙළි කලාද?

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා සිදුවිමට මුහුණදුන් අදාල නිලධාරිනියගේ එදින ක්‍රියා කලාපය පරස්පරතාවයෙන් යුතු බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර තිබේ.

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පසුගිය මස 25 වැනිදා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ප්‍රශ්න කර ඇති බවට ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.

එහි දැක්වුණේ ශ්‍රි ලංකාවේ පිහිටි සිය තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන්නැයි නාඳුනන පිරිසක් විසින් ලාංකික සම්භවයක් සහිත සිය සේවිකාවට තර්ජනය කර ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

ඒ අනුව වහාම එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශනයක් ආරම්භ කළා.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කලේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් දත්ත හා සිදුවිමට මුහුණදුන් අදාල නිලධාරිනියගේ එදින ක්‍රියා කලාපය පරස්පරතාවයෙන් යුතු බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

ඒ බව එම නිලධාරිනියගේ ඌබර් (Uber) ගමන් වාර්තා, සී.සී.ටී.වී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජී පී එස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බවට සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දිමට ශ්‍රි ලංකා බලධාරින් කටයුතු කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මෙම සිදුවිමේදී තමන්ට සුළු තුවාල සිදුවු බවට එම නිලධාරිනිය ප්‍රකාශ කර ඇති බැවින් ඇයව මෙරට අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙත යොමු කළ යුතු බවට ශ්‍රි ලංකා බලධාරින් විසින් ස්විට්සර්ලන්ත තානාපතිවරයා හමුවේ කරුණු පැහැදිලි කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

නිලධාරිනියගෙන් ප්‍රකාශ ගැනීමට බැහැ

පරීක්ෂණ ඉදිරියට ගෙනයාම සඳහා පැහැරගැනීමට ලක්වූ බව පවසන නිලධාරිනියගෙන් කට උත්තරයක් ගැනීම පිණිස පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කරන ඉල්ලීමට ස්විට්සර්ලන්තය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත.

ඇයගේ සෞඛ්‍ය තත්වය අයහපත් බැවින් ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තත්වයක නොමැති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සිකුරාදා නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

එම කාන්තාව ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට පිටත්කිරීම සඳහා අනුමැතිය ලබා දෙන මෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලිමක්ද කර තිබේ.

මෙවන් තත්ත්වයක් මත ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීම නාටකයක්ද? යන ප්‍රශ්නය නැගීම සාධාරණ වී ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න