ගෝඨභයගේ අභියාචනයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි.

ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති අභියාචන පෙත්සම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා.

ජනාධිපති නීතීඥවරයා මෙම දැනුම්දීම කරනු ලැබුවේ අධිකරණ බලය සම්බන්ධයෙන් ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බලනු ලැබුවා.

පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවන මහතා කියා සිටියේ අධිකරණ සංවිධාන පනතේ විධි විධාන අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම පිළිබඳ අධිකරණ බලය පිළිබඳව මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ එවැනි විරෝධතාවන් ඉදිරිපත් කරන්නේ නම් මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගත යුතු බවයි.

ඒ අනුව පෙත්සම ජූලි 18 වැනිදා සලකා බැලීමට දින නියම කෙරුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න