මුලතිව් – කේපාපිලව් ප්‍රදේශයේ සිදුවූ පිපිරුම යුද ටැංකි නාශක බෝම්බයක් බවට තොරතුරු.

මුලතිව් – කේපාපිලව් ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ කිසියම් පිපිරීමක් සිදුවී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි පෞද්ගලික ඉඩමක මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

ඉඩමේ හිමිකරු සහ තවත් පිරිසක් කෘෂිකාර්මික කටයුත්තක් සඳහා මෙම ඉඩම එළි පෙහෙළි කර තිබෙනවා.

පසුව ඊයේ පස්වරුවේ එම කසල තොගය ඉඩමේ එක් පසෙක ගොඩ ගසා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

රාත්‍රී 8ට පමණ එහි මෙම පිපිරීම සිදුව ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙලෙස පුපුරා ගොස් ඇත්තේ කලකට ඉහත දී වළ දමා තිබූ යුද ටැංකි නාශක බිම් බෝම්බයක් විය හැකි බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

කෙසේ වෙතත්, මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය විධායකවරයා 2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.

ඒ, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකර ඇති භූමිය සම්බන්ධයෙන්.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම රෝහල් භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින අතර, එය වසර 30 ක කාලයක් සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට බදු වශයෙන් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත්, එම ඉඩම රාජ්‍ය බැංකුවකට අතුරු උකසක් ලෙස තබා ණය මුදලක් ලබාගෙන ඇති බව පසුව දැන ගැනීමට ලැබුණු බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව එලෙස බදු දුන් ඉඩමක් උකස් කිරීමට හැකියාවක් නොමැති බවද එම අධිකාරියේ මූල්‍ය විධායකවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියා.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නීත්‍යානුකූලව රජයට පවරා නොගෙන රජයේ මුදල් අවභාවිත කර ඇති බවට පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සිදුකළ පැමිණිල්ලකට අදාලව මෙලෙස නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය විධායකවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න