> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# "පුරපති බල්තසාර් රෑට කොළඹ කුණු අදිනවාද ?'' සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපයේ ඇත්ත නැත්ත මෙන්න
- URL: https://www.citizen.lk/does-mayor-balthasar-take-out-garbage-in-colombo-at-night-heres-the-truth-behind-the-photo-circulating-on-social-media/
- Published: 2026-05-06T13:15:48.000Z
- Updated: 2026-05-06T16:34:25.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

May 06 (Citizen News) - කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් රාත්‍රී කාලයේ වීදි පුරා කසළ එකතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි කතාබහකට ලක්ව තිබුණා.

මෙම ඡායාරූප උපුටා දක්වමින් බොහෝ දෙනා ඇයගේ කළමනාකරණ හැකියාව මෙන්ම දේශපාලන ප්‍රචාරණ උපක්‍රම දැඩි විවේචනයට ලක් කර තිබුණා.

විශේෂයෙන්ම, නගරයේ කසළ බැහැර කිරීම සඳහා කෝටි ගණනක කොන්ත්‍රාත්තු පෞද්ගලික අංශයට ලබා දී තිබියදී, නගරාධිපතිනිය මෙලෙස වීදි බැසීම දේශපාලන රංගනයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.  

![](https://www.citizen.lk/content/images/2026/05/image-1.png)

කෙසේ වෙතත්, මෙම ඡායාරූපවල සත්‍යතාව සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් සිදුකරන පුරපතිනී බල්තසාර් පෙන්වා දෙන්නේ, මෙය මෑතකදී ගත් ඡායාරූපයක් නොව 2024 වසරේ ලබාගත් එකක් බවයි. එහි සඳහන් වන්නේ, 2024 වසරේ කොළඹ පැවති දැවැන්ත මැයි දින රැලියකින් අනතුරුව ඇය ඇතුළු පාක්ෂිකයන් රැසක් විසින් මෙම කසල පිරිසිදු කිරීමට එකතු වූ බවයි.

> **"එම ඡායාරූපය 2024 වසරේ කොළඹ පැවති දැවැන්ත මැයි දින රැලියකින් පසුව, සිවිල් ක්‍රියාකාරිනියක ලෙස නගරය පිරිසිදු කිරීමට මා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අවස්ථාවක ලබාගත් එකක්." - ව්‍රායි කැලී බල්තසාර්**  

![](https://www.citizen.lk/content/images/2026/05/image-2.png)

කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී *බල්තසාර් විසින් සිය ෆේස්බුක් ගිණූමේ පල කර තිබු සටහන*

ඒ අනුව, පැතිර යන මෙම ඡායාරූපය ඇය නගරාධිපති ධුරයට පත්වීමට පෙර සිදුවූ පැරණි සිදුවීමකට අදාළ බවත්, වර්තමාන දේශපාලන විවේචන සඳහා පදනම් කර ගැනීම උදෙසා සත්‍ය කරුණු විකෘති කරමින් මෙම ඡායාරූපය යළිත් සමාජගත කර ඇති බවත් පැහැදිලි වේ.