> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මග්ගොන ද්විත්ව පාලම ඉදිකිරීම් ඇරඹේ
- URL: https://www.citizen.lk/construction-begins-on-the-maggona-twin-bridge-on-the-coastal-railway-line/
- Published: 2026-09-01T04:47:04.000Z
- Updated: 2026-09-01T06:40:57.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

September (Citizen News) - මුහුදුබඩ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කළුතර, මග්ගොන ද්විත්ව දුම්රිය පාලමේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (31) සිදුකෙරිණි.

මුහුදුබඩ දුම්රිය මාර්ගය (අංක සැතපුම් 33, දම්වැල් 43 ස්ථානයේ පිහිටි මග්ගොන දුම්රිය පාලම ඉදිකිරීම සදහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මගින් රුපියල් මිලියන 401.03 ක් වැයකෙරෙන අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් ආර්.ආර්. කන්ස්ට්‍රක්ෂන් ආයතනය මගින් මෙහි ඉදිකිරීම් වසරක් ඇතුලත නිමකිරීමට සැලසුම් කර ඇත.

දැනට පවතින පැරණි යකඩ පාලමට සමාන්තරව කොන්ක්‍රීට් පාලමක් ලෙස නිර්මාණය කෙරෙන මෙම නව පාලමේ දිග මීටර් 26.0 කි. පළල මීටර් 10.5 කි. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ දැනට පවතින යකඩ පාලම නිසි ප්‍රතිසංස්කරණයට ලක් නොකිරීම හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතී. ඒ හේතුවෙන් මෙම මාර්ගයේ ධාවන වේගය ද සීමාකර ඇත. 

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශය කටයුතු කරමින් සිටියි.