CDB බදුවලට පෙර ලාභය රු. බිලියන 2.7 ඉක්මවමින් දිවයිනේ ප්‍රමුඛතම බැංකු-නොවන මූල්‍ය ආයතන 5 අතරට එක්වෙයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2018/2019 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට ප්‍රගතියක් අත්පත් කරගනිමින් බදුවලට පෙර ලාභය රු. බිලියන 2.7 ක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. කොටස් වෙළඳපොළ වෙත නිකුත් කරන ලද CDB සමූහයේ අන්තර්වාර මූල්‍ය ප්‍රතිඵල වලට අනුව මෙය 34% ක වැඩිවීමකි. මේ ආකාරයට, ඉතාම කෙටි කාලයක් තුළ දිවයිනේ ප්‍රමුඛතම බැංකු-නොවන මූල්‍ය ආයතන 5 අතරට එක්වීමට එම සමාගම සමත් වී ඇත. මේ වනවිට සමූහයේ වත්කම් පදනම රු. බිලියන 91.9 ක් වන අතර සමාගම් මට්ටමේදී එය රු. බිලියන 89.4 කි. එහි ශක්තිමත් ශේෂ පත්‍රය, නිත්‍ය මුදල් ගලනය හා ආදායම් උපයන වත්කම් සමග 93% ක් සමන්විත වේ.

ලොව ඉහළම තලයේ තිරසාර ක්‍රමවේද අනුගමනය කරන සමාගමක් ලෙස CDB සමාගමේ ද්විමාන ව්‍යාපාරික ආකෘතිය මගින් එම සමාගම එක් අතකින් මූල්‍ය අතරමැදි ක්ෂේත්‍රයේ පෙරළිකරුවෙකු බවට පත්වී ඇති අතර අනික් අතින් සමාජයීය හා පාරිසරික වශයෙන් වගකීම්සහගත සමාගමක් බවට පත්වී තිබේ. කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන පුවරුවේ ලයිස්තුගත වී ඇති එම සමාගමේ ද්විතල ප්‍රවේශය මගින් එහි අවසාන ඵලයට සුවිශාල වටිනාකමක් එක්වන අතර ව්‍යාපාර තිරසාරත්වයේ ශක්තිමත් පදනම සහ හවුල්කරුවන්ගේ අඛණ්ඩ දායකත්වය ව්‍යාපාරයේ සාර්ථකත්වය ඉමහත් පිටිවහලක් වී තිබේ.

මෙම මූල්‍ය වර්ෂය සඳහා සමාගම් සමූහයේ ආදායම රු. බිලියන 16.9 ක් වන අතර එය 40% ක වර්ධනයකි. ශුද්ධ පොලී ආදායම රු. බිලියන 5.5 දක්වා 52% කින් ඉහළ ගොස් තිබේ. බදුවලට පෙර ලාභය රු. බිලියන 2.7 දක්වා 34% කින් වර්ධනය වී ඇත. පෙර වසරට සාපේක්ෂව බදු ප්‍රමාණය රු. මිලියන 951 දක්වා 58% කින් ඉහළ ගොස් ඇති අතර මීට මූල්‍ය සේවා මත වැට් බද්ද, ණය ආපසු ගෙවීම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, අස්වනු රක්ෂණ බද්ද සහ ආදායම් බදු ඇතුළත් වේ. ඒ අනුව බදුවලට පසු ලාහය රු. බිලියන 1.8 ක් වන අතර එයද 24% ක සැලකිය යුතු මට්ටමේ වැඩිවීමකි. මෙය වාර්තා වී ඇත්තේ වඩාත් වැඩි මූල්‍ය වත්කම් හානිකරතා සංචිතයක් වෙනුවෙන් වෙන්කරනු ලබන මූල්‍ය වත්කම් හානිකරතා ගාස්තුව තුන් ගුණයකින් ඉහළගොස් තිබියදී ය. මෙය නියාමන අවශ්‍යතා මෙන්ම සම්මත ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව ගණනය කර ඇත.

සමාගම් සමූහය වාර්තා කළ රු, බිලියන 1.8 ක බදුවලට පසු ලාභය, 22% ක වර්ධනයකි. ඊට Unison Capital Leasing Ltd (UCL)වෙතින් රු. මිලියන 98 ක දායකත්වයක් ලැබී තිබේ. UCL, CDB සමාගමේ 90.3% ක හිමිකාරීත්වයක් සහිත, ඊට අනුබද්ධ ලීසිං සමාගම වන අතර නියාමන අවශ්‍යතා ප්‍රකාරව එය ඉදිරියේදී CDB සමග ඒකාබද්ධ වනු ඇත. මේ සම්බන්ධයෙන් කොටස් හුවමාරු නිවේදනයක් දැනටමත් නිකුත් කර තිබේ.
දළ අකර්මණ්‍ය ණය අනුපාතය 6.68% ක් වූ අතර ශුද්ධ පදනම අනුව එය 3.84% කි. නැවත-පවරාගත් තොග හැර ශුද්ධ අකර්මණ්‍ය ණය අනුපාතය 1.5% කි. අදාළ කාලසීමාව තුළ වියදමට ආදායම අනුපාතය 49% දක්වා පහළ ගොස් තිබේ.

CDB හි නිකුත් කළ ණය එකතුව (Loan Book) 18% ක සාමාන්‍ය වර්ධනයක් අත්කර ගනිමින් රු. බිලියන 71.5 මට්ටමට පැමිණ ඇත. මින් 97% ක්ම වත්කම් පදනම් කරගත් සම්භාරය වේ. රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දියුණු කිරීමේ අරමුණ යටතේ CDB සමාගම වෙත Belgian Investment Company for Developing Countries (BIO), Dutch Development Bank of the Netherlands (FMO) සහ Blue Orchard Microfinance යන ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 60 ක විදේශ ණය සම්පාදනයක් හිමිවිය. තැන්පතු පදනම, යහපත් මට්ටමේ තැන්පතු/ණය මුදල් සම්පාදනය සංයෝගයක් ලෙස 60% ට 40% ක් වාර්තා කරමින් වසර අවසානය වනවිට රු. බිලියන 47.2 මට්ටමේ පැවතියේ ය. මෙම පසුබිම, යහපත් වත්කම් හා වගකීම් කල්පිරීම් තත්වයක් වාර්තා කරගැනීමටද උපකාරී විය. කොටස් හිමිකරුවන්ගේ අරමුදල් මට්ටම රු. බිලියන 8.8 ක් වූ අතර මෙය 22% ක වර්ධනයකි. එමෙන්ම එය නියාමන සීමාව වන රු. බිලියන 1.5 ට වඩා පැහැදිලි ලෙසම ඉහළ ය. කොටසක් සඳහා ශුද්ධ පොත් වටිනාකම රු. 162.50 කි. මූල්‍ය වර්ෂය තුළ කොටසක් සඳහා ඉපැයුම රු. 33.11 ක් විය. මට්ටම් (Tier) සහ 2 ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාත පිළිවෙළින් 7.78% ක් සහ 11.05% ක් විය. මේවා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන ලද සංශෝධිත මාර්ගෝපදේශ අනුව ගණනය කර තිබේ. CDBවිසින් මෑතකදී තම ප්‍රාග්ධන පදනම වර්ධනය කරගැනීම සඳහා සහ අනාගත වර්ධන ඉලක්ක උදෙසා රු. බිලියන 1 ක හිමිකම් නිකුතුවක්ද ප්‍රකාශයට පත්කරන ලදි.

සමාජ අන්තර්ග්‍රාහිතාව, කාබන් වර්ධනය මුළුමනින්ම වැළැක්වීම සහ සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම යන ප්‍රධාන ඉලක්ක තුන මතCDB සමාගමේ තිරසාරත්ව ඉලක්ක පදනම් වී ඇත. සිය තිරසාරත්ව මූලධර්ම වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර ඇගයීම් වලට ලක්වී ඇති CDBමේ වනවිට ‘නාගරික මුදල් සම්පාදනය’ සහ ’ග්‍රාමීය ණයදීම්’ යන සංකල්ප දෙක ඒකාබද්ධ කරන තම ව්‍යාපාරික ආකෘතිය ඔස්සේ, විවිධත්වයෙන් සපිරි ගනුදෙනුකරුවන් පිරිසක් වෙත සේවාවන් සපයමින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගනිමින් සිටී. මෙය සිදුකරනුයේ ග්‍රාමීය ආර්ථිකයන් සඳහා ශුද්ධ ණය සම්පාදකයෙකු වෙමින් ශක්තිමත් ආර්ථික ශක්තියක් සම්පාදනය කිරීම තුළිනි.

දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපාරික ක්‍රමෝපාය ඔස්සේ සාම්ප්‍රදායික ව්‍යාපාරික අංශ ආවරණය කරමින් සහ නව ක්‍රමෝපාය ඔස්සේ වඩාත් පෙරළිකාරී පියවර අනුගමනය කරමින් CDB සමාගම සිය ව්‍යාපාරික කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. මීට සමගාමීව, සමාගමේ සන්නාම පොරොන්දුව වන ‘ඔබේ හිතවතා’ (‘Your Friend’) යන්න තවත් අර්ථවත් කරමින් නව අරමුණු ප්‍රකාශයක් වන ’අභිලාෂයන් බලගැන්වීම’ (‘Empowering Aspirations’) යන්නද හඳුන්වා දී ඇත.

නව අරමුණු ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් CDB හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා මෙසේ පැවසී ය. “මීට වසර 15 කට කලින් අපගේ තේමා පාඨය වන Your Friend හඳුන්වා දෙන විට අප සෑහෙන දුරකට අලුත් සමාගමක්. ඒ කාලයේ අපගේ ප්‍රධාන අරමුණ වූයේ රටේ පුරවැසියන්ගේ සැබෑම සහකරු බවට පත්වීමයි. දැන් අප රටේ ප්‍රධානතම බැංකු නොවන මූල්‍ය සමාගම් 5 අතරට පැමිණ සිටිනවා වගේම රටේ මූල්‍ය ක්ෂේත්‍රයට නව හඳුන්වා දීම් රාශියක් සිදුකළ සමාගමක් බවට පත්වී තිබෙනවා. ඒ නිසා දැන් එළඹ තිබෙන්නේ Your Friend යන්නෙහි අරුත නව මානයකට රැගෙන යාමට කාලයයි. Empowering Aspirations යන්නෙන් අපගේ ගනුදෙනුකරුවන්, සාමාජික සාමාජිකාවන් හා ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් අත්වැලක් වීමට අප සතු හැකියාව පිළිබිඹු වෙනවා. සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින් ඉලක්ක යථාර්ථයන් බවට පත්කිරීමේ හැකියාව මෙහි ඇති තවත් ප්‍රධාන අරුතක් ලෙස පෙන්වා දිය හැකියි. මූල්‍ය අතරමැදි සේවා ක්ෂේත්‍රය ඉදිරි වසර 5 ඇතුළත විශාල වෙනසකට ලක්වේවි කියා අප සිතනවා. එමගින් නව අවස්ථාවන් රාශියක් උදාවේවි.”

CDB සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රාශියක් එම සමාගම වෙත හිමිවී තිබේ. මෙම වසරේදී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලේදී (Best Corporate Citizen Sustainability Awards)එම සමාගම විශිෂ්ටතම ආයතනික පුරවැසියන් 10 අතර එක්වූ අතර ආදායම රු. බිලියන 15 ට අඩු කාණ්ඩයේ ජයග්‍රහණයද දිනාගන්නා ලදි. එමෙන්ම ජාතික වාණිජ මණ්ඩලයේ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Business Excellence Awards) එම සමාගමට අඛණ්ඩව 3 වන වරටත් බැංකු නොවන මූල්‍ය සේවා කාණ්ඩයේ රන් සම්මාන හිමි විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම 50 අතරට එක්වී සිටින CDB, Brand Finance හි නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එම සන්නාම 50 අතරින් ඉහළම වටිනාකම් වර්ධන අනුපාතය වාර්තා කරගත් සන්නාමය බවට පත්වී තිබේ. එමෙන්ම සමාගමේ අනුකූලතාව, ආචාරධර්ම සහ ව්‍යාපාරික මූලධර්ම වල විශිෂ්ටත්වය නිසා එම සමාගමේ 2017/2018 වාර්ෂික වාර්තාවට ඇමරිකා එක්සත් ජනපදයේ ARC Awards හිදී ‘Grand Award – Best of Sri Lanka’ ARC Awards හිදී ‘Grand Award – Best of Sri Lanka’ සම්මානය හිමි විය.