කහින විට, සිනාසෙන විට ඉබේ මුත්‍රා පිටවෙන තත්වය ගැන ඔබ දැනුවත්ද?

    කහින විට කිවිසුම් යන විට, හිනා වෙන විට හෝ බර වැඩක් කරන විට පාලනයකින් තොරව මුත්‍රා පිටවීම බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක්. මේ ලිපියෙන් අපි කියන්නේ ඔබ නොදැනුවත්වම, ඉහතින් කියපු කාරණා එක්ක මුත්‍රා පිටවෙන තත්වය සුව කල හැකි mid urethral sling operation කියන ශල්‍යකර්මය ගැන තොරතුරු ඔබව දැනුවත් කරන එක.

    මෙම රෝග තත්වයට හේතු වෙන්නෙ මුත්‍රා මාර්ගයේ මුල කොටස අවට පටක ශක්තිමත් නොවීම. ඒ වෙලාවට ඔබට මුත්‍රා පිටවීම වළක්වා ගැනීම අපහසු වෙනවා. දරුවන් ලැබීමට පසු සහ වයසත් එක්ක බොහෝ කාන්තාවන්ට මේ තත්වය ඇතිවෙනවා. මුත්‍රා මාර්ගයේ මෙම කොටස ඉතා කුඩා පටියක් යොදා නැවත නියමිත ස්ථානය ඔසවා තැබීම මෙම ශල්‍යකර්මය මඟින් සිදු කරනවා. මෙම පටිය මුත්‍රා මාර්ගය ඔසවා නියමිත ස්ථානයේ පවත්වා ගන්නා නිසා ඉන් පසු කහින විට, කිවිසුම් යන විට, සිනා වෙන විට, හෝ බර වැඩක් කරන විට මුත්‍රා පිටවීම සිදු වෙන්නෙ නැහැ.

    මේ සඳහා යොදා ගත හැකි ශල්‍ය කර්ම වර්ග කිහිපයක් තිබෙන අතර ලංකාවේ බහුලව ම භාවිතා කරන්නේ Trans Obturator Tape (TOT) කියන ශල්‍ය කර්මය. මෙම ශල්‍ය කර්මය සඳහා සිහි නැති කිරීමට අවශ්‍ය නැහැ. සිසේරියන් සැත්කමක දී මෙන් හිරිවැටීමට බෙහෙත් ලබා දීල මෙම ශල්‍යකර්මය සිදු කල හැකියි. එහිදී යෝනි මාර්ගය ඇතුළත සෙන්ටි මීටරයක ප්‍රමාණයේ ඉතා කුඩා කැපුමක් යොදා එය තුලින් මුත්‍රා මාර්ගය ඔසවා තබන සියුම් පටියක් ඇතුළු කරනවා. ඇතුල් කරන සියුම් දිය වෙන මැහුමක් පිටතට ගැනීමට ඉකිළි ප්‍රදේශය දෙපස මිලි මීටර 4ක පමණ කුඩා කැපුම් දෙකක් යොදනවා.

    යෝනි මාර්ගය ඇතුළත යොදන දියවෙන මැහුම් නැවත ඉවත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සති කිහිපයකින් මේවා ඉබේම දියවෙලා යනවා. සමහර විට ශල්‍යකර්මයෙන් පසු සුදයාමක් හෝ සුළු රුධිර වහනයක් ඇතිවෙන්න පුළුවන්.

    මුත්‍රා පිට කිරීම පහසු වීම සඳහා බටයක් දැමීම සමහර විට අවශ්‍ය වෙනවා. එත් මෙය පැය 24කට පෙර ඉවත් කිරීමට පුළුවන්. බොහෝ විට මෙම ශල්‍යකර්මයෙන් පසුව එදින ම හෝ පසු දින රෝහලෙන් බැහැර යාමට හැකියාව තිබෙනවා. කලාතුරකින් මුත්‍රා පිට කිරීමේ යම් අපහසු බවක් ඇතිවුවහොත් එක් දිනකට වඩා රෝහලේ සිටීමට සිදු වෙන්න පුළුවන්.

    මෙම ශල්‍ය කර්මයෙන් පසු ඇතිවෙන වේදනාව අවමයි. බොහෝ විට සරල වේදනා නාශක ඖෂධ වලින් පමණක් මෙය සමනය කර ගැනීමට හැකියාව තිබෙනවා. ශල්‍යකර්මයෙන් පැය 4ක් පමණ වෙන විට සාමාන්‍ය ලෙස ආහාර පාන ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

    මෙම සැත්කමෙන් පසුව ගැබ් ගැනීමක් සිදුවුවහොත් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමකට යොමු වීම වඩාත් සුදුසුයි. එම නිසා නැවත ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙන තරුණ කාන්තාවකට මෙය එතරම් සුදුසු ශල්‍ය කර්මයක් නොවෙයි. එවැනි කාන්තාවන්ට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් මුත්‍රා පාලනය යථා තත්වයට පත් කිරීමට හැකියාව තිබෙනවා. එහිදී ලැපරොස්කොපි ශල්‍ය උපකරණ යොදා ගෙන සියුම් ලෙස මුත්‍රා මාර්ගය දෙපසින් මැහුම් කිහිපයක් යොදා මුත්‍රා මාර්ගය නියමිත ස්ථානයට ඔසවා තබනවා. මෙම ශල්‍යකර්මය Laparoscopic Colposuspension ලෙස හඳුන්වන අතර ඉන් පසු නැවත ගැබ් ගැනීමට හෝ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කිරීමට බාධාවක් නැහැ.