“දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහි කරනවාමයි ” – සජිත් ප්‍රේමදාස කියයි.

0
30

රටේ ජනතාව තමන්ට හයියක් ලබාදෙන්නේ නම් ඊට පසු දින සිට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නංවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

219 වන උදා ගම්මානය වන මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල – අරංගල ඉදිවු විජේරත්න බණ්ඩාපුර ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට පෙරේදා (19දා) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ගොවි විශ්‍රාම වැටුප ගෙවිම සඳහා රජයේ මුදල් කොටස් ගෙවීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු කියා සිටියා.

පාර්ලිමේන්තු පනතක් හරහා නෛතික බලයක් ලබාදීම තුළින් වේදිකාවේ විවිධ අදහස් පළකරමින් ජනතාව මුලාකිරිමට පත්වන කිසිදු ආණ්ඩුවකට හැකියාව නොලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

“තමුන්නාන්සෙලා ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට මේ රටේ දැවැන්ත යුග පෙරළියක් නිර්මාණය කරන්න පෙරමග ගමන්කරැවන්. දැන් මම දකුණු පය පෙරට තියලා තියෙන්නේ ප්‍රේමදාසලා දකුණු පය පෙරට තැබුවහම මොනම හේතුවකටවත් ආයේ පස්සට ගන්නේ නැහැ. ඒක තමයි අපේ හැදියාව. ඒක තමයි අපේ පුරුද්ද.

දැන් එක එක්කෙනා දැන් එක එක නම් වීසි කරනවා. මට මතකයි අසූ අටෙත් එක එක නම් කියවුණා. අහවලාලු සුදුසු අරයලු එන්නේ අවසානේ කවුද ආවේ කියන එක තමුන්නාන්සෙලා දන්නවා.

මම කියන්න කැමතියි ඔබලාගේ අනුමැතිය තුළ සහ ඔබලා ගන්නා ඕනෑම තීන්දුවකට මම ලැස්තියි. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ සෑම සියලු දෙනාම අනිවාර්යෙන්ම රොද බැදගෙන දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරනවාමයි කියලා.”