බ්‍රිතාන්‍යය නෞකාවක් ඉරාන හමුදා භාරයට .

ඉරානය විසින් ගල්ෆ් මුහුදු තීරයේදී බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් නෞකාවක් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා.

නෞකාවේ හිමිකාරිත්වය පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත ස්ටෙනා ඉම්පෙරෝස් නැමැති මෙම නෞකාව සමග පැවති සියලු සන්නිවේදන සබඳතා අවහිර වූ බවයි.

ඉරානය තම ධජය සහිත නෞකාව නිදහස් නොකරන්නේ නම් බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා තිබෙනවා.

ඔහු පැවසුවේ බ්‍රිතාන්‍ය නෞකාව ඉරාන ග්‍රහණයට ගැනීමට පෙර කුඩා යාත්‍රා 4 ක් හා හෙලිකොප්ටරයක් පැමිණ අදාළ නෞකාව වටකර ඇති බවයි.

මේ අතර වේග ප්‍රහාරක යාත්‍රා 10 ක් යොදා ගනිමින් එම මුහුදු කලාපයේදී මෙස්ඩාර් නැමැති තවත් බ්‍රිතාන්‍ය නෞකාවක් සිය ග්‍රහණයට ගැනීමට ඉරාන හමුදා උත්සාහ දරා ඇතැයි වාර්තා වනවා.

කෙසේවෙතත් අදාළ නෞකාවට කිසිඳු බලපෑමක් සිදුව නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළා.

පසුගියදා ජිබ්රැල්ටර් මුහුදු ප්‍රදේශයේදී ඉරාන තෙල් නෞකාවක් බ්‍රිතාන්‍ය නාවික හමුදාව සිය භාරයට ගත්තේ අදාල නෞකාව යොදා ගනිමින් සම්බාධක නොතකමින් සිරියාවට තෙල් ප්‍රවාහනය කරන බව පවසමින්.

අදාල නෞකාව මේ වන විටත් බ්‍රිතාන්‍ය ග්‍රහණයේ තිබෙන අතර වැඩිදුර විමර්ශන සඳහා එය තවත් දින 30 ක් රඳවා තබා ගැනීමට ජිබ්රැල්ටර් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අවසර ලබා දුන්නා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න