බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5කට අත්හිටුවයි

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව සති 05 ක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ඒ, මහමැතිවරණයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දෙවන වරටත් ගෙන ආ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමත් සමගයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව අත්හිටුවීමේ ප්‍රකාශය නිකුත් කිරීමේදී විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ඒ සඳහා විරෝධය පළ කළහ. විදෙස් වාර්තා පැවසුවේ පාර්ලිමේන්තුව කල්තැබීමත් සමග සභා ගර්භය තුළ දැඩි උණුසුම් වාතාවරණයක් ද හට ගත් බවයි. ඇතැම් මන්ත්‍රීවරුන් කල් තැබීමේ ප්‍රකාශයට එරෙහිව හඬනගා විරෝධය දැක්වූ අතර ඇතැමුන් කතානායකවරයා සිය අසුනෙන් නැගිට යාම වළක්වාලමින් ඔහු අසල සිට සිය විරෝධය පල කළේ ය.

බ්‍රිතාන්‍යය ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසන්නේ මැතිවරණයක් කැඳවීමට පෙර එකගතාවයකින් තොරව යුරෝපයෙන් වෙන් වීමට අග්‍රාමාත්‍යවරයා දරණ උත්සහය නැවැත්විය යුතු බවයි. එසේම එකගතාවයකින් තොරව හෝ යුරෝපයෙන් වෙන්වීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දරණ උත්සහයට පාලක කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පවා දැඩි විරෝධය එල්ල වී තිබේ.

මහමැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අද ගෙන ආ යෝජනාවට ද පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත හිමිව නොතිබිනි.

මන්ත්‍රී ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සඳහා මන්ත්‍රීවරුන් 434 දෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ. එහෙත්, අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ මන්ත්‍රීවරුන් 293 දෙනෙකු පමණයි.

එකගතාවක් සහිතව හෝ රහිතව බ්‍රිතාන්‍යය හැකි ඉක්මනින් යුරෝපයෙන් වෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ මතය වේ. එහෙත්, එම මතයට විරෝධය පළ කරමින් ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම මේවනවිටත් තනතුරුවලින් ඉල්ලා අස්වී අවසන්. එලෙස ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් අතර අග්‍රාමාත්‍යවරයාගේ සහෝදරයා ද සිටීම විශේෂත්වයකි.