පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම නිසා බැඳුම්කර වංචාවේ විගණන වාර්තා විවෘත නොවේ

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වෝහාරික විගණන වාර්තා මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්යාලයේ තැබීමට හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති තීරණය කර තිබෙනවා.

වෝහාරික ගිණුම් පිලිබද වාර්තා 05 ක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී ඇති බවයි කෝප් කමිටුව මෙහිදී සඳහන් කරන්නේ.

මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකි බවටත් ,ඒවා නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවටත්, නීතිපතිතුමා ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව ඒවා රහස්‍ය ලෙස තබා ගැනීමට කටයුතු කරන බවයි හිටපු කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව එම වෝහාරික ගිණුම් වාර්තා විවෘත නොකෙරුනු බවත් ඒවා නැවත කෝප් කමිටුව ස්ථාපනය වූ පසු එහි සාමාජිකයන්ගේ අනුමැතිය මත ඒ පිළිබදව පියවර ගන්නා ලෙස තමන් කෝප් කමිටු ලේකම් කාර්යාලයට උපදෙස් දුන් බවයි ඔහු කියා සිටියේ.

වසර 2002 සිට 2015 පෙබරවාරි 28 දක්වා කාලය තුළ මහ බැංකු ගනුදෙණු සිදුව ඇති ආකාරය පිළිබදව මෙම වෝහාරික විගණනයේ දී අවධානය යොමුව ඇත.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරීම සදහා කෝප් කමිටුව අද කැදවා තිබුණ ද පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග එය අවලංගු විය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න