ආන්දෝලනාත්මක ඇවන්ට්‍ ගාඩ් හඬ පටයේ ඔබ මේ කරුණු ගැන දැනුවත් ද?

ඇවන්ට් ගාඩ් මැරීටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ අල්ලස් කොමිසමේ හිටපු සභාපති සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර සිදුවූ යා යයි පැවසෙන දුරකථන සාකච්ඡාවක හඬ පටයක් දැන් මාධ්‍ය ඔස්සේ ඔබට අසන්නට ලැබෙන්නට ඇත.

මේ එම හඬ පටයයි.

මෙම හඬ පටය හරහා විවිධ දේශපාලනික කෝණ වලින් තර්ක මතුවන අයුරුද දකින්නට ඇත. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ දේශපාලනික කරුණු අත්හැර ඔබ විසින් වටහා ගතයුතු කරුණු කීපයක් ඉදිරිපත් කිරීමයි.

මෙම හඬ පටයේ

  • සත්‍යාසත්‍යතාව පිළිබඳ මුලින්ම දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගෙන් විමසිය යුතුය.
  • එසේ නොමැති නම් ඇයගේ හඬ සාම්පලයක් සමඟ සසදා බැලිය යුතුය.

එවිට එය සත්‍ය හඬ පටයක් බව පැහැදිලි නම් අප විසින් තේරුම් ගත යුතු කරුණු කීපයක් ඇත.

  • නිවැරදි තොරතුරු සහිතව හෝ රහිතව නඩු කටයුත්තක යෙදුන විට බලය සහ ධනය සහිත පිරිස් වලට ඉහල නීති නිලධාරීන් දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන සාකච්ඡා කළ හැකි අතර, පෞද්ගලිකව ඔවුන්ට තමන්ගේ කරුණු කාරණා පැහැදිලි කළ හැකි අතර එවැනි ශක්තියක් නොමැති පිරිස් වලට වරදක් නොමැතිව චෝදනා නැගුනොත් එවැනි ඉඩක් නොලැබෙන බවයි. එනම් නීතිය සැමට සමාන ද?
  • එමෙන්ම මෙම හඬ පටයෙන් සහ නිශ්ශංක සේනාධිපති තම වීඩියෝ පටයකින් හෙළි කරන තොරතුරු අනුව ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය රටට විශාල වශයෙන් විදෙස් විනිමය ගෙන, රණවිරුවන්ට අමතර රැකියාවක් ලැබුණු, ආදායමක් ලැබුණු ව්‍යාපාරයකි. එනමුත් එහි ප්‍රතිලාභ කෙතරම් යහපත් වුවත් එම හේතුව ඉදිරිපත් කර එම සමාගමට නීති විරෝධී කටයුතු වල යෙදෙන්නට අවසර හෝ යෙදුන නීති විරෝධී කටයුත්තකට සමාව ලබා දිය යුතුද? එසේ නීතිය නැමිය හැකි ද?
  • දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කියන ආකාරයට නීතිය නිලධාරීන් ට අවශ්‍ය ආකාරයට හසුරුවන්නේ නම් හෝ හැසිරවිය හැකි නම් එවන් නීතියක් පිළිබඳ ජනතාව තබා ඇති විශ්වාසය පළුදු නොවන්නේ ද
  • තමන් විසින් ගොනු කළ නඩුවක චුදිතයන් සමඟ දුරකථන සංවාද පවත්වන්නට තරම් මෙරට ඉහළ නිලධාරීන් අවම වෘත්තීය සදාචාරයවත් පවත්වාගෙන යාමට නොහැකි උදවිය ද
  • නිලධාරීන් ගේ කැමැත්ත අකමැත්ත මත නීතිපති දෙපාර්තුමේන්තුව හෝ අල්ලස් කොමිසම නීතිය ක්‍රියාත්මක කළ යුතු සහ නොයුතු අවස්ථා ලෙස අපරාධ වර්ගී කරණය කරන්නේ කුමන ප්‍රතිපාදන යටතේ ද
  • චෝදනාවක් එල්ල වූ පසුබිමක එය විභාග කර තීරණයකට පැමිණිය හැක්කේ අධිකරණයකට හෝ සමථ මණ්ඩලය වැනි පත් කළ යුක්තිය පසිඳලීමේ ආයතනයකින් පමණයි. එවන් පසු බිමක එවැනි අධිකාරී බලයක් නොමැති නිලධාරිනියක් අවසන් විනිචයක්ට පැමිණයේ කෙසේ ද? (මේ වන විටත් මීට අදාලව නඩු කටයුතු කීපයක් විභාග වේ)
  • මෙම සමාගමේ කටයුතු ගැන සොයා බැලීමට නීති අංශ තීරණය කර ඇති පසුබිමක ඊට අවසර ලබා දුන් සහ එය දිගින් දිගටම නීරීක්ෂණය කළ යුතු එවක ආරක්ෂක ලේකම් වරයාගේ වගකීම ගැන ප්‍රශ්න කිරීම නොකළ යුතුව තිබුණේ ඇයි ?

එබැවින් මෙම හඬ පටය දේශපාලනික කෝණයකින් විග්‍රහ කිරීමකට වඩා මෙරට නීතිය හමුවේ සැම සමානයි යන්න සහ මහජන සේවයේ විශ්වසනීය බව ගැන ගැටළුකාරී තත්වයක් නිර්මාණය කරන අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න