තෙවසරකට පසු ඔස්ට්‍රේලියාවට ශ්‍රී ලංකාවට එරෙහිව T 20 තරගාවලි ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් සමත් විය.

ඒ, දෙරට අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි 20 යි 20 තරගය කඩුලු 9 කින් ජය ගනිමිනි.

අද තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3 ක් සිදු කර තිබූ අතර පළමු තරගයට ක්‍රීඩා කළ ඕෂද ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ හා කසුන් රාජිත වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු, නිරෝශන් දික්වැල්ල, ඉසුරු උදාන කැඳවා තිබුණි.

කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 117 ක් පමණි.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 ක් රැස් කළ අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 27 ක් රැස් කළේ ය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17 යි.

වනිදු හසරංග, ඉසුරු උදාන සහා ලක්ෂාන් සඳකැන් ලකුණු 10 බැගින් රැස් කළේ ය.

පන්දු යැවීමේදී බිලි ස්ටැන්ලේක්, පැට් කමින්ස්, ඇශ්ටන් ඊගර් හා ඇඩම් සැම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගොස් තිබුණි.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු නොලබා සිටි නායන ඒරන් ෆින්ච්ව දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.

කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් සමග එක් වූ ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක සබඳතාවක් ගොඩනංවමිනි.

ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේ පන්දුවාර 13 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

නොදැවී කඩුල්ලේ රැඳි සිටි ඩේවිඩ් වෝනර් සිය 20 යි 20, 14 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 60 ක් සහ ස්ටීවන් ස්මිත් තුන්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53 ක් රැස් කළේ ය.

මෙම තරගාවලි පරාජයත් සමගින් ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලංකාව රඳවාගෙන සිටි අඛණ්ඩව 20 යි 20 තරගාවලි ජයග්‍රහණ වාර්තාව අහිමි විය.

අවසන් වරට 2010, 2013 හා 2017 වසරවලදී ඔස්ට්‍රේලියාවේදී පැවැත් වූ 20 යි 20 තරගාවලි 3 ම ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්සයි 20 තරගාවලියක් පරාජයට පත් වූයේ වසර 3 කට පසුව වීම විශේෂත්වයකි.

දෙරට අතර 3වන සහ අවසන් පන්දුවාර විස්සයි 20 තරගය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත ය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න