ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන්ට සුභ පණිවිඩයක්.

යුද්ධයෙන් ආබාධිත වූ සහ මිය ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් රජය ලබා දීමට පොරොන්දු වූ විශ්‍රාම යාමෙන් පසුවත් නොනවත්වා වැටුප ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඉන් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පනස්දහසකට පමණ තවත් මාසයක් වැනි සුළු කාලයකින් එම වරප්‍රසාදය හිමිවීමට නියමිත බව වාර්තා වනවා.

ආරක්ෂක අංශ සාමාජිකයන් කළ මෙම ඉල්ලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබා දී ඇති බව ජාතික රණවිරුසේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලියනගේ මහතා පැවසුවා.

මීට පෙර ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ඔවුන් විශ්‍රාම යන තෙක් හිමිව තිබුණේ ආබාධිත දිමනාව සහ වැටුප පමණයි.

මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ වැටුප ලබා ගන්නා ඥාතින්ට ද එම දිමනා හිමි වුණා.

පසුව ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයන් විශ්‍රාම යාමෙන් පසු හිමි නොවන ආබාධිත දිමනාවත් වැටුපත් විශ්‍රාම වැටුපට එකතු කර ලබාදෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කෙරුණා..

මිය ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඥාතීන් ද එම ඉල්ලීම කර තිබුණා.

එම ඉල්ලීම කිරීමට ඔවුන් හේතු වශයෙන් ඉදිරිපත් කර තිබුණේ විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට ජීවත්වීමට තරම් විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ගේ එම ඉල්ලීම ඉෂ්ඨකර දීමට තීරණය කර කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසුව එය සම්මතව තිබෙනවා.

යුද්ධය නිමා වී වසර දහයක් සපිරෙන මෙම වසරේ දී මෙම වරප්‍රසාදය ලබාදීම ඔවුන් වෙනුවෙන් කළ සුවිශේෂි කෘතගුණ සැළකිමක් බව රණවිරුසේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලියනගේ මහතා කියා සිටියා.