අපේම රණවිරුවෙකු ගැන වෛද්‍යවරයෙක් තැබූ තවත් සංවේදී සටහනක්.

0
182

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රට තුළ ආරක්ෂව දැඩි කළා. රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපේ රණවිරුවන් වැස්සට තෙමීගෙන, අව්වේ වේලෙමින් ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේම කොයි කවුරුත් උදේට එළියට බහිනෙත් රණවිරුවන් කෙරෙහි තැබූ විශ්වාසය මතයි.

එලෙස මහමගදී හමු වූ රණවිරුවෙකු ගැන වෛද්‍යවරයෙක් සිය මුහුණු පොතේ තැබූ අපූරු සටහනක් අපට හමුවුණා. මේ ඒ සටහනයි,

ඊයේ උදේ පාන්දර බදුල්ලේ එන්නට මා පදවාගෙන ආ රථය තෝලංගමුව මහ විද්‍යාලය ආසන්නයේ හමුදා මාර්ග බාධකයේදී නතර කෙරිණි. තව වාහන කිහිපයක්ද නවතා තිබිණි. වෙලාව උදේ හතර හමාරට විතර වන්නට ඇත. මම වම්පස වීදුරුව හිමිහිට පහත් කළෙමි. ගිලීගිය ඇස් දෙකකින් හා විඩාබර මුහුණකින් යුත් හමුදා සොල්දාදුවෙක් මෝටර් රථය තුලට නැඹුරු විය.

” මහත්තය කොහෙද යන්නෙ?” රථය තුල තීක්ෂණ ඇසකින් බලනා ගමන්ම ඔහු ඇසුවේය.

“බදුල්ලෙ”

“ඩොක්ට කෙනෙක්ද?” ඔහු වීදුරුවේ අලවා තිබූ අවසරපත දකින්නට ඇත.

“ඔව්”

“අයිඩෙන්ටියක් තියද?”

මම මාගේ රාජකාරි හැඳුනුම්පත දුන්නෙමි.

“බෑග් එක බැලුවට කමක් නැද්ද සර්?

“අනේ බලන්න..රෑම ඩියුටිද?

ඉස්සරහට ආසනය මත තිබූ මගේ බෑගය පරීක්ෂා කරන අතරම ඔහු මා දෙස මඳ සිනහවක් පෑයේය…

“ඔව් සර්…සමාවෙන්න කරදරයක් වුණානම්..දන්නවනෙ රටේ හැටි මේ දවස්වල..ඒකයි මේ”

“ප්‍රශ්නයක් නෑ” මම සිනහවෙන්ම උත්තර බැන්දෙමි.

“හරි සර්..පරිස්සමින් යන්න..මිනිස්සු බලන් ඇති සර් එනකල් “

නැවත වාහනය පණ ගන්වාගත් මා බදුල්ලට එනතුරුම හිතට කොනිති ගැහූ වචන දෙකක් විය.

“පරිස්සමින් යන්න”

රෑ එලිවෙනකන් මහපාරේ හිටගෙන පොද වැස්සට තෙමි තෙමි වාහන ඇතුලේ බෝම්බ තිබේදැයි බෑග් අවුස්සා හොයනා සොල්දාදුවාගේ පපුව ඇතුලේ ඉන්නා මනුස්සයා හොඳ නින්දක් ලබා නැගිට නවීන මෝටර් රථයක සැපට වැඩට යන මට ” පරිස්සමෙන් යන්න” යැයි කී හැටි පපුවට දැනිච්ච හැටි පුදුමය…

මිත්‍රවරුනි,

මේ මිනිස්සු බොහෝ විට මීට වඩා අන්ත දුක්ඛිත තත්ත්ව යටතේ සේවය කර ඇතුවාට සැක නැත.
ඒ වාගේ දහසක් වුන් ජීවිත පුදා අතපය පුදා අපට නිදහසේ ඉන්නට රටක් හදා දුන්නහ.

පාස්කු ප්‍රහාරයෙන් පසුවද උන් ඒ දේම කලහ. එදායින් මනත එක බෝම්බයක් නොපිපිරුණු කතාවේ රහස මේ මිනිස්සුය.

කිසිදා කිසිදින නිලඇඳුම් තුල ඉන්නා හමුදාවේ මිනිස්සුන් අමතක නොකල යුත්තේ එකය…
ගැරහිය නොයුත්තේ ඒකය…
උන්ගේ පුංචි වැරැද්දකට මුලු හමුදාවක් සමච්චලයට ලක් නොකල යුත්තේ ඒකය…

අප දරුවන්ට කියා දිය යුත්තේ එහෙමය…

මන්ද,

උන් කරනා මෙහෙය කීයක් ලැබුණත් මටවත් ඔබටවත් කරන්නට බැරි නිසාය…

හමුදාවේ සොහොයුරනි,

මෙහෙම සිපගත්තේ නැති වුනත්
මේ අම්මා තරමටම නැති වුණත්
ඔබට ආදරය කරනා ලංකාවේ මිනිස්සු අනන්තවත් සිටිති…

පරිස්සමෙන් ඉන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here